lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි
Share on FacebookShare on Twitter

ආණ්ඩුව විකාශන නියාමන කොමිෂන් සභා පනත, දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත වැනි රටට ජන ජීවිතයට ඍජු ලෙස බලපාන පනත් කෙටුම්පත් කීපයක්ම මේ වනවිට එළිදක්වා තිබේ. ඒ නිසාම ඒවා සම්බන්ධයෙන් අදහස් පළකිරීමට මහජනයාට අවස්ථාව ලැබී තිබේ. මෙහිදී විශේෂයෙන්ම විකාශන නියාමන කොමිෂන් සභා පනතට එරෙහිව විශාල විරෝධයක් ගොඩනැගෙමින් පවතී. පනත් කෙටුම්පතක් වශයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ නිල ලේඛනයක් වශයෙන් තවම ප්‍රකාශයට පත් නොකලද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් පත්කරන ලදැයි කියන කමිටුවක් විසින් මේ පනත කෙටුම්පත් කරතිබේ. එම පනත මාධ්‍ය නියාමනය කියන කඩතුරාවට මුවා වී විද්‍යුත් මාධ්‍ය පාලනය කොට කට වැසීම සඳහාම සකස් කරන ලද්දක් බව පැහැදිලිය. වෙනත් කරුණු කතා නොකළද එහි සඳහන් කාරණා දෙකක් ගැන සඳහන් කිරීම ප්‍රමාණවත් ය.

මේ පනත යටතේ පිහිටුවනු ලබන කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු නිල බලයෙන් රාජ්‍ය නිලධාරීන් වේ. ඔවුන් එම නිලවලට පත්කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය අනුවය. අනෙක් සාමාජිකයන් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත් කෙරුනද ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවකදී ඔවුන් ඉවත් කළ හැකිය. දෙවැනි කරුණ වන්නේ මේ පනත ක්‍රියාත්මක වීමෙන් පසු සියළු විකාශන ආයතන වාර්ෂිකව බලපත් ලබාගත යුතු වීමයි. මේ අනුව බලපත් අලුත් කරන අවස්ථාවේදී පවතින රජයට ගැතිකම් නොකරන විකාශන ආයතනවලට අත්විය හැකි ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. මේ කාරණා දෙක විතරක් සැලකිල්ලට ගත් විට වුවද මේ රටේ රාජ්‍ය පාලනයට ගැති නොවූ මාධ්‍යවලට තවදුරටත් එසේ රාජ්‍යයෙන් ස්වාධීනව වැඩ කිරීමට ඉඩක් ඉතිරි නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

විකාශන කොමිෂන් සභා පනත පදනම් වනු ඇති බවට සැලකිය හැකි කෙටුම්පතක් දැනට එළිදක්වා තිබේ. එහෙත් යෝජිත කම්කරු නීති සංශෝධනය ගැන කිසිදු නිල මට්ටමේ ලියවිල්ලක් නැත. එහෙත් කම්කරු ඇමතිවරයා ගිරවකු මෙන් තොරතෝන්චියක් නැතිව මේ ගැන දොඩවයි. අරක වෙනස් කරනවා මේක මෙහෙම කරනවා ආදී වශයෙන් පවසයි. ඔහු මයික්‍රෆෝනයට කතා කරන්නේ යම් ලියවිල්ලක් බලාගෙන බව පෙනේ. එහෙත් එය රටට හෙළිදරව් නොකරයි. බැලූ බැල්මට පෙනී යන්නේ සංශෝධන ලැයිස්තුව ඇමතිවරයාගේ ඔළුගෙඩිය තුළම හිරකරගෙන ඇති බවයි.

මෑතකදී මේ කම්කරු නීති සංශෝධන කතාව එලියට ආවේ ජනාධිපතිවරයා පසු ගිය වසරේ ඉදිරිපත් කළ අඅයවැය කතාවේදීය. එහෙත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2002-2004 වකවානුවේද මේ යෝජනාව ඉදිරිපත් වී තිබිණි. එහෙත් රනිල්ගේ ආණ්ඩුව කෙටි කලකින් අහෝසි වීමත් සමග එම යෝජනාව යටපත් විය. කම්කරු නීති නම්‍යශීලීකරණය නමින් ගෙනඑන මේ යෝජනාව 1990 ගණන්වල සිටම ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝකයේ දිළිඳු රටවල ආර්ථිකය වර්ධනය කරනු පිණිස ඉදිරිපත් කරඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වට්ටෝරුවේ මූලිකාංගයකි. මෙයින් කියැවෙන හරය වන්නේ ආයෝජකයන්ට/හාම්පුතුන්ට රිසි පරිදි සේවකයන් වැඩෙහි යොදවන්නට සහ ඉවත් කරන්නට හැකි වන ආකාරයට කම්කරු නීතිය සම්පාදනය කළයුතු බවයි.
ලොව පුරා කම්කරු නීති ගොඩනැගීමට පදනම වූයේ හාම්පුතා සහ සේවකයන් අතර පවතින අසමතුලිත භාවයයි. එනම් හාම්පුතා ආර්ථික වශයෙන් බලවතකු වන අතර සේවකයාට එවැනි බලයක් නොමැත.

ඒ නිසාම සේවකයන්ගේ ආරක්ෂාව නෛතික රැකවරණය විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු විය. මේ අතරතුර කාලයෙහි බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල වෘත්තීය සමිති ගොඩනැගෙමින් සේවක අයිතිවාසිකම් දිනාගැනීමට මෙන්ම ඒ දිනාගත් අයිතිවාසිකම් නෛතික වශයෙන් තහවුරු කරගැනීමටද යොමුවිය. අද ලොව පුරා වැඩකරන ජනතා නෛතික වශයෙන් භුක්ති විඳින අයිතිවාසිකම් මේ අයුරින් ඔවුන් කාලයක් තිස්සේ කරන ලද අරගලවලින් දිනාගෙන නීතිය තුළින්ද සහතික කරගන්නා ලද අයිතිවාසිකම් වේ.

මනුෂ නානායක්කාර ඇමතිවරයා දැන් උත්සාහ දරමින් සිටින්නේ එසේ කම්කරුවන් විසින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අරගල තුළින් දිනාගෙන ඇති වැඩකරන ජනයා සතු නෛතික රැකවරණ ටිකත් ඉවත් කර දැමීමටය. නිදසුනක් වශයෙන් නම්‍යශීලී වැඩකරන පැය ගණනක් නමින් සේවකයකු සතියකට වැඩකරන පැය ගණන පැය 12ක් දක්වා වැඩි කිරීමට තතනයි. ස්ත්‍රීන් රාත්‍රි සේවයේ යෙයෙදවීම සම්බන්ධයෙන් දැනට ඇති සීමා ඉවත් කොට අලුතින් රැකවරණ සලසනවාය කියමින් හාම්පුතුන්ට ස්ත්‍රීන් සූරාකෑමට වඩවඩාත් ඉඩ සලසාදීමට කැසකවයි. සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනට බලපවත්වන 1975 සේවකයන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත අහෝසි කිරීමට යෝජනා කරයි.

මේ අයුරින් ආණ්ඩුව උත්සාහ කරන්නේ වැඩපොළ මට්ටමේ රැකියා නිර්මාණය කෙරුනු 19වැනි සියවසේ මුල් කාලයේ පැවති hire and fire ප්‍රතිපත්තිය යලි ක්‍රියාවේ යෙදවීමට බව පැහැදිලිය. මේ අනුව හාම්පුතකුට තමන්ට අවශ්‍ය වෙලාවට තමාගේ කොන්දේසි යටතේ සේවකයකු සේවයට බඳවා ගැනීමටත් අවශ්‍ය වෙලාවට සේවයෙන් ඉවත් කිරීමටත් ඉඩ සැලසේ.

කම්කරුවන් සම්බන්ධයෙන් බලපාන නීති මේ දක්වා වර්ධනය වී ඇත්තේ පාලකයන් විසින් බන්දේසියක තබා දෙනලද ත්‍යාගයක් වශයෙන් නොව කම්කරු ප්‍රජාව විසින් දිවි පරදුවට තබා සටන් අරගල මගින් ඉල්ලාසිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සම්බන්ධ හොඳම නිදසුන වන්නේ මැයි 1දා ලෝක කම්කරු දිනයට පදනම දැමූ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේ 1886දී ඇති වූ අරගලයයි. ඒ වනතුරු පැය 16ක්, 12ක් ආදී වශයෙන් වැඩකිරීමට සිදුවූ කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් දිනාගත්තේ කම්කරු ක්‍රියාධරයන් කීපදෙනෙකු තම ජීවිතද පූජා කළ එඑම අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ආණ්ඩුව දැන් සැරසෙන්නේ මේ සා කාලයක් පුරා කම්කරු පීඩිත ජනයා ලේ කඳුළු මතින් දිනාගෙන භුක්ති විඳින අයිතිවාසිකම් කප්පාදු කර දැමීමටය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමාගේ දුර කාලය බලපවත්නා ඉදිරි වසරකුත් මාස කීපය තුළදී ඔහු වැඳුම් පිදුම් කරන නව ලිබරල්වාදී වැඩපිළිවෙළ අඩුවක් නැතුව අංග සම්පූර්ණ ලෙස ක්‍රියාවේ නැංවීමට සපථ කොට තිබේ. පසුගිය මාසය අවසානයේ ඔහු යෙදුනු ලන්ඩන්, පැරිස් සංචාරවලදී ඔහුට අණ දෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා හමුවේ මේ පොරොන්දුව දුන්නේ සැප්තැම්බර් මාසයට නියමිත IMF ණය මුදලේ ඊළඟ වාරිකය ලබා ගැනීම සහතික කරගැනීම පිණිසය. බැංකු වසාදමා සතියක කාලයක් ඇතුළත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේ ඒ අනුවය. නම්‍යශීලී කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම නමැති කඩතුරාවට මුවා වී මේ කරන්න යන මගඩිය සහ විනාශය වහාම නැවැත්විය යුතුය.

මෙහිලා ප්‍රමුඛ වගකීමක් කාර්‍යභාරයක් පැවරෙන්නේ සංවිධිත වෘත්තීය සමිති ව්‍යාපාරයටය. ප්‍රගතිශීලී වෘත්තීය සමිති එකතු වී මේ සම්බන්ධයෙන් වැඩකරගෙන ගියද මෙහිලා වැඩපොළ මට්ටමේ කම්කරුවන් සංවිධානය කිරීම වෙනුවෙන් දැනට කරඇති වැඩ ප්‍රමාණය ගැන සෑහීමකට පත්විය හැකි නොවේ. එක අතකට වෘත්තීය සමිති දේශපාලනික සහ පුද්ගල බද්ද කාරණා මත පවා බෙදී තිබියදී සහ අනෙක් අතට මෙරට වැඩකරන ජනයාගෙන් වෘත්තීය සමිතිවලට බැඳී ඇත්තේ ඉතා සුළු පිරිසක් බව සැලකීමේදී වෘත්තීය සමිති මට්ටමින් ගත්විට ඉටුකළ හැකි වැඩ කොටස සීමිතය.

ඒ නිසාම වත්මන් පාලනයේ සියළු දුර්දාන්ත ක්‍රියාවලට එරෙහිව වැඩපොළ මට්ටමින් සේවකයන්ගේ කමිටු ගොඩ නැගිය යුතුය. ඒවාට දේශපාලන හෝ අන් කිසිදු භේදයකින් තොරව වැඩපොළක, කම්හලක, කාර්යාලයක වැඩකරන ලොකු කුඩා විවිධ මට්ටම්වල සියළු සේවකයන්ට එකතු වියහැකිය. එම වැඩබිම් කමිටුවලට තම ක්ෂේත්‍රයේ සහ ප්‍රාදේශීය වශයෙන් ඒකාබද්ධ වී කමිටු ජාලයක් වශයෙන් වුව ක්‍රියාත්මක වීමට හැකියාව ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරියේ ඉතාම පහළම මට්ටමින් එකතු වූ ජනයා විසින් බව අමතක නොකළ යුතුය. එලෙසින් වැඩපොළ කම්හල් මට්ටමින් වැඩකරන ජනයා සංවිධානය වී පෙරට පැමිණි විටෙක ඕනෑම බලසම්පන්න නායකයකු පලවාහැරීම අසීරු වැඩක් නොවේ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
වැඩ කරලා  ඉවර නොමැත දෙවියනේ

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

Ratutharuwa 2023 September Issue …

Ratutharuwa 2023 September Issue ...

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.