
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය
රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි. එහෙත් දේශනය අවසන් කර බස් නැවතුමට දිව යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ සාක්කුවේ එම ප්‍රකෘතිමත්වීම තවමත් පෙනෙන්නේ නැත. ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා, දෙමාපියන්ට තම දරුවන්ගේ විශ්වවිද්‍යාල වියදම් දැරීමට නොහැකි වී තිබේ. රුපියල් දස දහසකට අඩු මහපොළ හෝ බර්සරි දීමනාවකින් කොළඹ, පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය හෝ රුහුණ වැනි ප්‍රධාන විශ්වවිද්‍යාල නගරවල නවාතැන් ගාස්තු, ප්‍රවාහනය, ආහාර පාන මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම අසීරුය. අද වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නවාතැන්පළක හෝ කුලී කාමරයක කුලිය මසකට රුපියල් විසිපස් දහස සිට තිස් දහස දක්වා ඉහළ ගොස් ඇත. ගමන් වියදම්, ආහාර, දුරකථන බිල්, පොත්පත් හා පාඨමාලා ගාස්තු අතර ජීවිතය පවත්වාගෙන යාම සඳහා ඔහුට හෝ ඇයට දවසේ තවත් පැය කිහිපයක් විකිණීමට සිදුවෙයි. මෙය තනි පුද්ගලයකුගේ “වෙහෙස මහන්සි වී ඉදිරියට යාමේ” කතාවක් නොව, අර්බුදයකින් පසු ශ්‍රමය හා ජීවිතය නැවත සංවිධානය වන ආකාරය පිළිබඳ සමාජ ප්රශ්නයකි.
2022 ආර්ථික කඩාවැටීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආදායම්, රැකියා සහ මිලදී ගැනීමේ හැකියාව දැඩි ලෙස පීඩනයට ලක්විය. ලෝක බැංකුව පෙන්වා දෙන්නේ 2021–2023 අතර ආර්ථික නිෂ්පාදනය සමුච්චිතව 9.5%කින් හැකිළුණු බවත්, 2024 දී දරිද්‍රතා අනුපාතය 24.5%ක් පමණ වූ බවත්ය. 2026 අගෝස්තුවේ ජාතික උද්ධමනය 8.1%ක් විය. 2021–2026 අතර ආහාර මිල දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර සැබෑ වැටුප් 2019 මට්ටමට වඩා පහළින් පවතී. එබැවින් ඉලක්කම් පෙන්වීම පමණක් ජීවන අරගලය අවසන් වූ බවට සාක්ෂියක් නොවේ.
රැකියා වෙළෙඳපොළේ පීඩනය තරුණයන්ට තවත් තදින් දැනේ. 2026 සිව්වන කාර්තුවේ සමස්ත රැකියා වියුක්තිය 4.0%ක් වූ අතර, වයස 15–24 තරුණ තරුණියන්ගේ රැකියා වියුක්තිය 18.7%කි. එමෙන්ම IMF නවතම වාර්තා අනුව ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්රජාවගෙන 43% ක ට විරැකියාව බලපා තිබේ.
මෙවැනි වෙළෙඳපොළක උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා ඇතුළු තරුණ ප්‍රජාවගේ “අර්ධකාලීන රැකියාව” තෝරාගැනීමක් නොව, පැවැත්මේ අනිවාර්යතාවක් වී තිබේ. 2024 දී ප්‍රකාශිත ශ්‍රී ලාංකික රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 122 දෙනෙකු ඇතුළත් අධ්‍යයනයක් ජීවන වියදම්, අධ්‍යාපනික ද්‍රව්‍ය මිල සහ මූල්‍ය පීඩනය ශිෂ්‍ය ජීවිතයට බලපාන බව සටහන් කළේය. එම නියැදියේ 45.08%කට මාසික ආදායම රු.5,000–20,000 අතර වූ අතර 13.93%කට කිසිදු ආදායමක් නොතිබුණි.
මේ අනුව අධ්‍යාපනය සහ වැඩ කිරීම යන ද්විත්ව ජීවිතය බිහිවෙයි. වැඩ කරන ශිෂ්‍යයාට අධ්‍යාපනය සඳහා තිබිය යුතු කාලය අඩුවෙයි. සමාජ සබඳතා, ක්‍රීඩා, නින්ද සහ විවේකය මෙන්ම සංස්කෘතික ජීවිතය පසුපසට යයි. අර්ධකාලීන රැකියාව අධ්‍යාපනයට අමතර දෙයක් නොව, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කරන සාධකයක් බවට පත්වෙයි. තවද පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ගාස්තු ගෙවන ශිෂ්‍යයාට මෙය ණය හා පවුල් වියදම් සමඟ තවත් දැඩි පීඩනයක් බවට පත්විය හැක.
මෙම තත්ත්වය තුළ බිහි වී ඇති අර්ධකාලීන ශ්‍රම වෙළෙඳපොළ යනු අතිශය ම්ලේච්ඡ ධනපති සූරාකෑමේ තෝතැන්නකි. මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ අර්ධ කාලීන කම්කරුවාට ලැබෙන ආරක්ෂාවයි. ශ්‍රී ලංකාවේ අවිධිමත් රැකියාව යනු නීතියෙන් පිටත වැඩ කිරීම පමණක් නොවේ. ස්ථිර සේවා සම්බන්ධතාවක් නොමැති වීම, EPF/ETF නොලැබීම, ලිඛිත ගිවිසුම් නොමැති වීම, කම්කරු අයිතිවාසිකම් නොසලකා හැරීම, සේවා අනාරක්ෂිතතාවය වැනි අවදානම්ද එයට ඇතුළත් වේ. DCS දත්ත අනුව 2024 දී රැකියා වෙළෙඳපොළ තුළ 57.5%ක් අවිධිමත් රැකියා ලෙස වර්ගීකරණය විය. ILO අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 67%කට වැඩි පිරිසක් අවිධිමත් රැකියාවල සිටින අතර, අවම වශයෙන් සමාජ ආරක්ෂණ ප්රතිලාභවලින් ආවරණය වන්නේ ජනගහනයෙන් 41.3%ක් පමණි.
ඒ නිසා “දවසකට වැඩ කර මුදල් ගන්නවා” යන්න නිදහසක් මෙන් පෙනුණද, එහි අනෙක් පැත්ත අස්ථිරභාවයයි. අද වැඩ තිබුණත් හෙට නොතිබිය හැක; වැඩ කළ පැය ගණන හා ගෙවන මුදල අතර පැහැදිලි සම්බන්ධයක් නැති විය හැක; අනතුරක් සිදුවුවහොත් ආදායම නවතී. විශේෂයෙන් ආහාර බෙදාහැරීම, ප්‍රවාහනය, උත්සව සංවිධානය හා වෙළඳ ප්‍රවර්ධන – ප්‍රචාරණ කටයුතු වැනි ක්ෂේත්රවල ඉල්ලුම අනුව ශ්‍රමය කැඳවීම සේවායෝජකයාගේ වියදම අඩු කරන අතර අවදානම කම්කරුවා වෙත තල්ලු කරයි. ශ්‍රී ලංකා gig-කම්කරුවන් පිළිබඳ පර්යේෂණවලද ආදායම් අස්ථිරභාවය, වෘත්තීය අවදානම, සමාජ ආරක්ෂණ හිඟය සහ ඇල්ගොරිතම මගින් පාලනය කිරීම පිළිබඳ ගැටලු හඳුනාගෙන ඇත.
මෙහිදී ස්ත්‍රී පුරුෂ අසමානතාවද නොසලකා හැරිය නොහැක. 2026 සිව්වන කාර්තුවේ සමස්ත තරුණ විරැකියාව 18.7%ක් වූ නමුත් තරුණ කාන්තාවන්ගේ විරැකියා ප්‍රතිශතය පුරුෂ පක්ෂයට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් වේ. එමෙන් ම උගත් තරුණ කාන්තාවන්ගේ රැකියා වියුක්ති අනුපාතය 9.6% ක අගයක් ගනී. රැකියාවකට යාමට ප්‍රවාහන වියදම්, රාත්‍රී මුරවල ආරක්ෂාව, පවුලේ රැකවරණ වගකීම් සහ සේවා ස්ථානයේ ලිංගික හිරිහැර පිළිබඳ බිය නිසා කාන්තා ශිෂ්‍යයන්ගේ තේරීම් තවත් සීමා වී තිබේ. තව ද සමරිසි ප්‍රජාවගේ තත්ත්වය ඊටත් අන්ත අසරණ ස්වභාවයක් ගනි. එබැවින් “ඕනෑ නම් වැඩක් සොයාගන්න” යන වෙළෙඳපොළ තර්කය සමාජයේ සියලු තරුණයන්ට සමානව අදාළ නොවේ.
අනෙක් අතට, අර්ධකාලීන සේවකයාගේ දුර්වල කේවල් කිරීමේ බලය සේවායෝජකයාට වාසියකි. “ශිෂ්‍යයෙක් නිසා අත්දැකීමක් ලබාගන්න” යන නාමයෙන් නොගෙවන පුහුණු කාල, අමතර පැය, කෑෂ් ගෙවීම්, ලිඛිත ගිවිසුම් නොමැතිකම හෝ අවසන් මොහොතේ shift වෙනස් කිරීම සාමාන්‍යකරණය වුවහොත්, අධ්‍යාපනය ලබන තරුණයා ලාභදායී සහ පහසුවෙන් ප්‍රතිස්ථාපනය කළ හැකි ශ්‍රම සංචිතයක් බවට පත්වෙයි. එය නව තාක්ෂණය නිසා ඇති වූ ප්‍රශ්නයක් පමණක් නොව, පරණ ශ්‍රම සූරාකෑම ඩිජිටල් වේදිකාවකට මාරුවීමකි.
නව තාක්ෂණ ධනවාදය මෙයට නව මුහුණුවරක් දී තිබේ. WhatsApp, Telegram සහ වෙනත් සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහා “අද වැඩ—අද ගෙවීම්”, “එක් දින සේවකයන් අවශ්‍යයි” වැනි අවස්ථා ඉක්මනින් දහස් ගණනකට බෙදා හැරිය හැක. මෙය අවස්ථාවක්ද, නව ශ්‍රම වෙළෙඳපොළක්ද, නැතිනම් සූරාකෑමේ නව යාන්ත්‍රණයක්ද යන්න විමසිය යුතුය. ඩිජිටල් වේදිකා හරහා සිදුවන මෙම ශ්‍රම සූරාකෑම නියාමනය කිරීමට කිසිදු යාන්ත්‍රණයක් නොමැති වීම නිසා තරුණ ශ්‍රමිකයෝ නූතන ඩිජිටල් වහලුන් බවට පත්ව සිටිති. කණ්ඩායම් පරිපාලකයා සහ කම්කරුවා අතර අතරමැදියකු සිටී නම් විශාල වශයෙන් කොමිස් මුදල් කපාගැනීම, අවසන් මොහොතේ වැඩ අවලංගු කිරීම, පොරොන්දු වූ මුදල නොගෙවීම, පෞද්ගලික තොරතුරු ලබාගැනීම වැනි අවදානම් මතුවීම සාමාන්‍යකරණය වී තිබේ. මෙම අර්බුදය හමුවේ රාජ්‍ය මැදිහත් වීමේ පවතින අන්ත දුර්වලතාව සහ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය තත්ත්වය වඩාත් බරපතළ කර ඇත.
මෙය හුදු අනුමානයක් නොවේ. ශ්‍රී ලංකා පොලිසිය සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ රැකියා අවස්ථා ලබාදී මුදල්, බැංකු තොරතුරු, OTP සහ QR කේත ලබාගැනීම පිළිබඳ මහජන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මූල්‍ය බුද්ධි ඒකකය “task scams” ලෙස හඳුන්වන වංචාවලදී ව්‍යාජ සේවායෝජකයන් සරල කාර්යයන් ලබාදී පසුව ලියාපදිංචි ගාස්තු හෝ මුදල් ඉල්ලා ගන්නා බවද වාර්තා කරයි. එබැවින් WhatsApp රැකියා කණ්ඩායම් සියල්ල වංචාකාරී යැයි නොකියන නමුත්, නියාමනය නොකළ ඩිජිටල් අතරමැදියන් නව අවදානම් කලාපයක් නිර්මාණය කරන බව පැහැදිලිය.
ඒ නිසා ප්‍රතිචාරයත් බහුමාන විය යුතුය. විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍ය රැකියා සහන මධ්‍යස්ථාන, නීත්‍යානුකූල සේවායෝජක ලියාපදිංචි පද්ධති සහ පැමිණිලි යාන්ත්‍රණ අවශ්‍යය. කම්කරු දෙපාර්තමේන්තුවට අර්ධකාලීන හා platform වැඩ පිළිබඳ ඉලක්කගත පරීක්ෂණ අවශ්‍යය. රජයට ශිෂ්‍ය ප්‍රවාහන, ආහාර සහ නවාතැන් සහන ශක්තිමත් කිරීමටත්, අධ්‍යාපනයේ වියදම පවුල මත පමණක් නොතැබීමටත් සිදුවේ. එසේ නොමැතිනම් “රැකියා නිර්මාණය” යන සංඛ්‍යාව වැඩි කළත්, නිර්මාණය වන්නේ ගෞරවනීය රැකියාද නැතිනම් දිනෙන් දින කැඳවන අස්ථිර ශ්‍රමයද යන්න අපට අමතක වේ.
රජයේ වගකීම මෙහිදී වැටුප් වැඩි කිරීමෙන් පමණක් අවසන් නොවේ. 2026 ජනවාරි සිට ජාතික අවම මාසික වැටුප රු.30,000ක් සහ දෛනික අවම වැටුප රු.1,200ක් ලෙස නියම කර ඇත. තවද EPF සහ ETF නීති අනුව තාවකාලික, casual, contract සහ shift සේවකයන් පවා ආවරණයට අයත් වේ. නමුත් නීතිය තිබීම සහ එය ක්‍රියාත්මක වීම එකම දෙයක් නොවේ. විශේෂයෙන් ඩිජිටල් වේදිකා ශ්‍රමය සඳහා නීතිමය හිස්තැන් තවමත් වැදගත්ය. 2026 ජූනි මාසයේ ILO විසින් Platform Economy පිළිබඳ Convention No.193 සම්මත කරමින් නිසි රැකියා තත්ත්වය, ගෙවීම්, සමාජ ආරක්ෂණය, ආරක්ෂිත සේවා පරිසරය සහ ඇල්ගොරිතමික පාලනය සම්බන්ධ වගකීම් අවධාරණය කළේය. එය තවමත් රටවල් විසින් අනුමත කළ යුතු ජාත්‍යන්තර ප්රමිතියකි; ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා නීති, පරීක්ෂණ හා සාමූහික කේවල් කිරීම ශක්තිමත් කළ යුතුය.
අවසානයේ ගැටලුව වැටුපකට වඩා විශාලය. 2023දී ජැෆ්නා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 637ක් යොදා කළ අධ්‍යයනයක 31%කට major depressive disorder සඳහා අවදානම් තත්ත්වයක් හඳුනාගත් අතර 70%ක් යම් මට්ටමක මානසික අවපීඩන ලක්ෂණ අත්විඳි බව වාර්තා විය. එම පර්යේෂණය අධ්‍යාපන පීඩනය, මූල්‍ය දුෂ්කරතා සහ රැකියා අනාගතය පිළිබඳ අනාරක්ෂිතභාවයද සාකච්ඡා කරයි. දවාලට දේශනවලට සහභාගී වී, රාත්‍රියේ සහ සති අන්තයේ අර්ධකාලීන රැකියා කරන සිසුන්ගේ මොළයට සහ සිරුරට ලැබෙන විවේකය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත. මෙය ඔවුන්ගේ ශාස්ත්‍රීය කාර්ය සාධනය මෙන්ම අනාගත බලාපොරොත්තු ද බිඳ දමයි. අධ්‍යාපනය යනු නිදහසක් නොව, ණය උගුලක සහ කුසගින්නේ හිරවීමක් බවට පත්ව තිබීමෙන් තරුණ මනසට එල්ල වන පහර අතිමහත්ය. පර්යේෂණවලට අනුව, ආර්ථික පීඩනය නිසා සිසුන් අතර ආත්ම විශ්වාසය හීන වීම, අධ්‍යාපනය අතහැර දැමීමේ ප්‍රවණතාව ඉහළ යෑම සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සුන් වීම ඉහළ ගොස් තිබේ.
තරුණයාගේ පැය විකිණීමෙන් ආර්ථිකය ගොඩනැගෙන්නේ නම්,කළ යුත්තේ ඔහු තවත් පැය විකිණීමට දිරිගැන්වීම නොව, ඔහුගේ ශ්රමයට වටිනාකමක්, ආරක්ෂාවක් සහ අනාගතයක් ගොඩනැගීමයි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ “ශිෂ්‍යයා වැඩ කරන්නේ නම් ඔහු ශක්තිමත්ය” යන රොමෑන්තික කතාව නොවේ. ශිෂ්‍යයාට ඉගෙනීමට කාලය, ජීවත්වීමට ප්‍රමාණවත් ආදායම, වැඩ කිරීමට ආරක්ෂාව සහ අනාගතයක් පිළිබඳ විශ්වාසය ලබාදෙන සමාජයකි. අර්ධකාලීන රැකියාව තෝරාගැනීමේ නිදහස තිබිය යුතුය; ජීවත්වීම සඳහා එය අනිවාර්ය වන සමාජයක් නොවිය යුතුය. එබැවින් අප ශිෂ්‍යයන් ඇතුළු තරුණ ප්‍රජාවන්ට යෝජනා කරනුයේ තාවකාලික සහන දීමනාවලින් සහ ආධාරවලින් එපිටට ගිය, සැබෑ පන්තිමය විමුක්තිය සහ සමාජ ක්රමයේ මූලික වෙනසක් සඳහා සමාජවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් සටන් වැදීම සඳහා පෙරමුණ ගන්නා ලෙසයි.
සාලිය කණුගල.





