lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ලේ වැගිරුනු මැයි මාසයක නව අදිටනක්…

New Admin by New Admin
May 18, 2023
in Articles, Activities
0
ලේ වැගිරුනු  මැයි මාසයක  නව අදිටනක්…
Share on FacebookShare on Twitter

මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය තම රුධිර පූජාවෙන් – ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්, දිනාදුන් සේවක අයිතිවාසිකම් නිසා තමයි අද අපි ඔළුව උස්සන් ඉන්නෙ මිනිසුන් හැටියට. කම්කරු පන්තියට ආගමක් ජාතියක් නැහැ. ඔවුන් සියළු දෙනාම පාලකයන් හාම්පුතුන් විසින් එක ලෙස සූරාකෑමට ගොදුරු වෙනව. හාම්පුතා නැත්නම් ධනපතිය මොන ජාතියට, ආගමට අයත් වුනත් ඔහුගේ එකම පරමාර්ථය ලාභ පොදිගහන එකයි. ඒ විදියටම කම්කරුව මොන ජාතියට ආගමට අයිති වුනත් සූරාකෑමට ගොදුරු වෙන්නෙ එකම විදියටයි. ඒ නිසයි කම්කරු පන්තියට ජාතියක් ආගමක් නැහැ කියල කියන්නෙ. කම්කරුවන්ට තියෙන එකම දේ ඔවුන් බැඳ දමල තියෙන යදම් විතරයි. ඒ යදම් බිඳින්න මුල පුරපු දිනය තමයි මැයි පළවැනිදා සමරන්නෙ ලෝකය පුරා.

එලෙස වැඩකරන ජනයා ලෝකය පුරා ජාති ආගම් භේදයකින් තොරව තම අයිතිය උදෙසා සටන් කරන අතර පාලකයන් බලන්නෙ ජාතිය, ආගම හෝ වෙන මොකක් හෝ හේතුවක් මත කම්කරුවන භේද භින්න කරල තමන්ගෙ පරමාර්ථය ඉටු කරගන්න. කම්කරු පන්තියේ ස්වාධීන සංවිධාන ශක්තිය දුර්වලව පවතින ඕනෑම රටක තත්වය මේකයි. ඒ අතරේ අපට අමතක කරන්න බැරි කාරණය තමයි ලෝකයේ ජාතිය, ආගම කියල ප්‍රපංචයන් තියෙනවා කියන එක සහ ජාතිය, ආගම, භාෂාව සියවස් ගණනක් තිස්සේ ඒ ඒ ජනකොටස්වල ජීවන රටාවන් සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතිනවය කියන කාරණය යටපත් කරන්න බැහැ. ඒ නිසාම අප ජීවත් වන මේ විසම, පන්ති සමාජය තුළ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වගේ ප්‍රපංචයන් තාමත් පවතිනවා. කම්කරු පන්තියේ දෘෂ්ටි කෝණයෙන් ලෝකය දිහා බලන අපි ජාතිය, ආගම, කුලය අතික්‍රමණය කරපු දියුණු මානසික මට්ටමක හිටිය වුනත් ලෝකය පොදුවේ තාමත් ඒ තත්ත්වයට ඇවිත් නැහැ. ඒ නිසාම ජාතිය, ආගම, භාෂාව මුල්කොටගත් ප්‍රශ්න ලෝකය පුරා පවතිනවා. ඒ ප්‍රශ්න මුල්කරගෙන විවිධ ජාතීන්, ආගමිකයන් එකිනෙකා මරාගන්නා ආකාරය අපි හොඳහැටි අත්දැක තියෙනවා.

අපේ රටේ වසර 30කට ආසන්න කාලයක් ඇදී ගිය යුද්ධයකට හේතුවුනෙත් මේ කිව්ව ජාතීන් සම්බන්ධ ප්‍රශ්නයක්. යම් රටක ජාතීන්, ආගමිකයන් හෝ වෙනත් ජනකොටස් කීපයක් ඉන්නව නම් ඒ ඒ කොටස් අතර ගැටුමක් ගැටළුවක් ඇති නොවන ආකාරයට පාලන ව්‍යුහයක් සකස් කරගැනීම ඉතාම වැදගත් කාරණයක්. එහෙම කරගන්න අසමත් වූ අවස්ථාවල මේ ජනකොටස් අතර උද්ගත වන ගැටුම් කොයිතරම් දුරට යනවද කියන එක දැනගන්න අපට වෙන කොහේවත් යන්න ඕන නැහැ මේ රටේ තිබුණ යුද ගැටුමෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන්. ඉන්දියාවෙ කාශ්මීරයේ, චීනයේ ටිබෙට් රටේ සහ උයිගර් මුස්ලිම් ජනයා මුල්කරගෙන, පාකිස්තානයේ බලු‍කි ප්‍රාන්තයේ ආදී වශයෙන් මේ ජනකොටස් අතර වන ප්‍රශ්න තවමත් නොවිසඳී පවතිනවා. දේශපාලන භාෂාවෙන් ජාතික ප්‍රශ්නය කියල අප හඳුන්වන මේ ප්‍රශ්නයේ කේන්ද්‍රීය ලක්ෂණය වන්නේ යම් රටක සිටින විවිධ ජනකොටස් අතර රටේ දේශපාලන බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙළක් නොතිබීමයි. යම් ජනවර්ගයක් හෝ ජාතියක් සංඛ්‍යාත්මකව අනෙක් ජනකොටස්වලට වඩා සංඛ්‍යාත්මකව වැඩි නම් සහ රටේ දේශපාලන බලය දරන්නෙ ඒ ජනකොටස නම් අනිවාර්යයෙන්ම එතන ගැටළුවක් තියෙනවා. විශේෂයෙන්ම සංඛ්‍යාත්මකව අඩු සුළුතර ජනකොටස් රටේ දේශපාලන බලය සඳහා සම්බන්ධ කරගැනීමට වැඩපිළිවෙළක් නැත්නම් ලේ වැගිරීම් දක්වා ඇදී යන ගැටුම් ඇති වන එක වළක්වන්න බැහැ. 1983 – 2009 දක්වා මේ රටේ පැවති යුද්ධයේ පදනම එයයි.

මේ සටහන ටිකත් දිග වුනත් ඒක පෙරවදනක් ව්තරයි. මේ රටේ පාලකයන් විසින් දෙමළ ජනතාවට එරෙහිව දියත් කළ තිරශ්චීන යුද්ධය උන් ජය අරගෙන වසර 14ක් පිරෙන්නෙ මේ මැයි මාසයේ 18දාට. පාලකයන්ටත් උන් පයගසා සිටින සිංහල බෞද්ධ ස්වොත්තමවාදීන්ටත් මේ දිනය විජයග්‍රහණයේ දිනයයි. 2009 වසරේ මැයි 18දා ප්‍රභාකරන්ගේ බෙල්ල කපල මරල යුධ ජයග්‍රහණය නිවේදනය කළාට පස්සෙ අර කිව්ව ස්වොත්තමවාදීන් මහපාරේ කිරිබත් උයන් කෑව හැටි. මිනී කඳු මත පයගසා ජයග්‍රහණය සමරපු හැටි. සාතිෂය දෙමළ ජනයාට නම් වැඩිපුර බලපාන්න ඇත්තෙ ප්‍රභාකරන් මරාදැමීමටත් වඩා මෛත්‍රිය දයාවෙන් පිරිපුන්ය කියන සිංහල බෞද්ධයන් මරාදැමීම සමරපු හැටි වෙන්න ඕන.

ප්‍රභාකරන් මරාදාල කඑඑැ සංවිධානය විනාශ කරල යුද්ධය ජයගෙන වසර 14ක් ගෙවුනට පස්සෙ අද වෙනකොට මොකද තත්වය? රටට සාමය උදාවෙලාද? යුධ වැදුනු දෙපාර්ශවය අතර සංහිඳියාවක් ඇතිවෙලාද? යුද්ධයක් නැතිකම කියන්නෙ සාමයද? උතුරේ ගමක් ගමක් පාසා හමුදා කඳවුරු පවත්වාගෙන යන්නෙ සාමය තියෙන නිසාද? දකුණේ සිංහල ජනයා මුලින්ම මේ තත්වය තේරුම් ගන්න අවශ්‍යයි. සිංහල ජනයා තමන්ගෙ හතුරා ලෙස සැලකූ කොටි සංවිධානය සහ එහි නායක ප්‍රභාකරන් තවදුරටත් නොසිටින නිසා දැන්වත් දෙමළ ජනයා වෙත මිත්‍රත්වයේ හස්තය දිගුකිරීම වෙතට යොමුවිය යුතු වෙනවා. ඇත්තටම සාමාන්‍ය සිංහල ජනයා ඒ සඳහා අකැමැත්තක් ඇතැයි කියල හිතන්න බැහැ. මොකද සිංහල ජනතාව දෙමළ ජනයා සමග පෞද්ගලික මට්ටමින් කිසිදු ප්‍රශ්නයක් ඇති කරගෙන නැති නිසා.

ඒ වුනත් දුබල සිංහල ධනපති පන්තිය මේ ප්‍රශ්නය ඒ කියන්නෙ ජාතික ප්‍රශ්නය තවදුරටත් නොවිසඳී තියාගන්නට තමයි බලන්නෙ. ජාතික ප්‍රශ්නය ජනකොටස්වල හෝ ජාතීන්ට අයත් පුද්ගලයන් අතර තියෙන ප්‍රශ්නයක් නොවෙයි. විසමජාතීය රටක ඒ කියන්නෙ ජාතීන් හෝ ජනවර්ග කීපයක් සිටින රටක බහුතර ජාතියේ පාලක පන්තිය විසින් සුළුතර ජාතීන්/ජනවර්ග සමග යම් සාධාරණ සහ එකඟ වූ පදනමක් මත දේශපාලන බලය බෙදාහදා ගන්න ක්‍රියා නොකළොත් එතනදී ජාතික ප්‍රශ්නය උද්ගත වෙනව. ලංකාවෙ ඉතිහාසය දිහා බැලු‍වම ඉතා පැහැදිලිව පේනවා යුද්ධ කරමින් මරාගන්නා තත්වයට ජාතික ප්‍රශ්නය උත්සන්න වූ ආකාරය. ඒක පැහැදිලිවම සිංහල ධනේශ්වර පාලක පන්තිය විසින් සුළුතර දෙමළ ජාතිය යටපත් කිරීමට දිගින් දිගටම ගනුලැබූ පියවර හේතුවෙන් උද්ගත වූ තත්වයක්. ඒ නිසා තමයි අපි මාක්ස්වාදීන් හැටියට මේ පීඩක පාලක පන්තියට එරෙහිව දෙමළ ජනයා තම ජාතික අයිතිය උදෙසා කරන අරගලයට සහාය දෙන්නෙ. අපි සිංහල නිසා සිංහල පාලකයන් සමග එක්වී දෙමළ ජනතාවට එරෙහිව යන්න අපට බැහැ. අපි එතනදී ගන්නෙ තම අඅයිතිය උදෙසා සටන් කරන පීඩිතයගෙ පැත්ත. සිංහල වුනා කියල පීඩකයගෙ පැත්ත ගන්නෙ නැහැ අපි.
කම්කරු පන්තිය ඇතුළුව දකුණේ ඒ කියන්නෙ සිංහල ජනතාව, සාමාන්‍ය සිංහල ජනතාව මේ අයුරින් පන්ති දෘෂ්ටි කෝණයෙන් මේ කාරණය දෙස බලන්න අසමත් වීමේ විපාකය තමයි තිස් අවුරුද්දක් තිස්සේ ඇදීගිය මේ යුද්ධය. දකුණේ ජනයා දෙමළ ජනයාගේ හැබෑ ප්‍රශ්නය තේරුම් නොගැනීම පිළිබඳ කාරණය දෙමළ බුද්ධිමතුන්ගේ, කලාකරුවන්ගේ, ලේඛකයන්ගේ විමසුමට ලක්වී තියෙනවා අවස්ථා ගණනාවකදීම. උතුරේ දීපචෙල්වන් නමැති ලේඛකයා විසින් ලියන ලද ”‍නඩුගල්”‍ නම් නවකතාව මගින් අපූරු ආකාරයකට චිත්‍රණය කර තියෙනව. ඔහු එම නවකතාව හඳුන්වා දී තියෙන්නේ ප්‍රචන්ඩත්වයෙන් තොර, යුද්ධයෙන් තොර එක භූමියක අප මිනිසුන් ලෙස ජීවත් විය යුතුය, එහි මිනිසුන් හට නිදහසත්, සතුටත් පැවතිය යුතුය යන අප දරුවන්ගේ අහිංසක ප්‍රාර්ථනය සාකච්ඡා කෙරෙන නිර්මාණයක් වශයෙන්. ”‍ස්මාරක ශිලාවත”‍ නමින් ජී. ජී. සරත් ආනන්ද විසින් සිංහල බසට පරිවර්තනය කර ඇති මේ කෘතිය දීපචෙල්වන් විසින් හඳුන්වා ඇත්තේ දෙමළ ජනයා උදෙසා ලියූ නවකතාවකට වඩා සිංහල සහෝදරත්වය සෙනෙහසින් ආමන්ත්‍රණය කරන නවකතාවක් ලෙසයි.

මේ නිර්මාණ කාර්යයන් හරහා පවා නූතන දෙමළ ලේඛකයන්, කලාකරුවන් උත්සාහ කරන්නේ පහුගිය කාලය තුළ තමන් මොනතරම් කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නත් දකුණේ ජනයා සමග එක්ව ජීවත් වන්න ඔවුන් තුළ ඇති කැමැත්තයි. හැබැයි ඇතැම් සිංහල නායකයන් හිතන විදියට ඔවුන්ගේ අත පල්ලෙන් වැටුනු අය හැටියට නම් නෙවෙයි. ගෞරවාන්විත පුරවැසියන් කොටසක් ලෙසයි. ප්‍රශ්නය වන්නේ දකුණේ ජනයා උතුරේ, නැගෙනහිර ජනතාව සමග ඔවුන්ටත් මේ බිමේ අයිතියක් තිබෙන ජන කොටසක් ය යන පදනමින් දේශපාලන බලය බෙදාහදා ගන්න සූදානම්ද යන්නයි. 1976දී වෙනම රාජ්‍යයක් පිළිබඳ ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් වන්නට පෙර දෙමළ ජනයා දිගින් දිගටම උත්සාහ කළේ සිංහල ජනයා සමග සහයෝගයෙන් තමන් ජීවත් වන ප්‍රදේශ පිළිබඳ තීරණ ගැනීම තමන් අතට ලබාගැනීමටයි. ඒ අනුව තමයි බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඇතිකර ගන්නෙත්. ඒත් අන්තිමට ඒ ගිවිසුම අත්සන් කරපු බණ්ඩාරනායකම ගිවිසුම ඉරාදැමීම තුළින් පෙන්නුම් කළේ එවැනි ආකාරයකින් බලය බෙදාහදා ගැනීමකට දකුණේ නායකයන් එකඟ නොවන බව නොවේද?

මේ නිසා අද අප ඉන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක. දීපචෙල්වන් තම නවකතාවෙන් කියන ආකාරයට උතුරේ ජනයා මේ මොහොතේ දකුණට දිගුකර ඇති සෙනෙහසේ හස්තය තදින් අල්ලාගන්නවාද, නැත්නම් එපා යයි ප්‍රතික්ෂේප කරනවාද කියා දකුණේ බහුතර සිංහල ජනයා විසින් තීරණය කළයුතු අවස්ථාවට අප දැන් පැමිණ සිටිනවා. වමේ අප මේ තීරණාත්මක මොහොතේදී ඒ අත අතහැරෙන්නට නොදී අල්ලාගැනීම වෙනුවෙන් කළහැකි හැම දෙයක්ම කරන්නට ලෑස්තියි.

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.
Activities

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඉහත තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු මෙවර මැයි දින පෙලපාලිය ඔරුගොඩවත්ත...

by Taniya
May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
Next Post
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය  හා විසඳුම් – ජී.ඩී. දහනායක  (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය හා විසඳුම් - ජී.ඩී. දහනායක (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ - ප්‍රධාන ලේකම්)

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.