Author: Taniya

  • චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

    චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

     

    ඔක්තෝබර් 16-22 දක්වා බීජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික සම්මේලනය, මහලේකම් ෂී ජින්පින්ගේ චරිතය වටා බලය කේන්ද්‍රගත කිරීමෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. ඔහු පෙර නොවූ විරූ තුන්වන වාරයක් සඳහා රටේ ජනාධිපති බවට පත් කරන ලදී. (Xi ගේන් පසු පැහැදිලි උරුමක්කාරයෙකු නොමැති වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු තවත් වසර පහක් සහ සමහර විට ඊට වැඩි කාලයක් චීනය පාලනය කිරීමට අදහස් කරන බවයි.) චීන පාලනයේ ප්‍රබල දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුව දැන් ආධිපත්‍යය දරනු ඇත්තේ Xi ගේ මිත්‍ර පාක්ෂිකයින් විසිනි (සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුව සහ ආසන 24 කින් සමන්විත දේශපාලන මණ්ඩලය යන දෙකම සම්පූර්ණයෙන්ම පිරී ඇත්තේ “හන්” ජන වාර්ගික පිරිමි නියෝජිතයින්ගෙන් පමණි. මෙම තත්වය කිසිසේත්ම ඊනියා චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය වන “විවිධත්වය” ප්‍රදර්ශණය කිරීමක් නොවන්නේය.

    මාඕ සේතුං පාලනය යටතේ පැවති පුද්ගලික පෞරුෂ සංස්කෘතිය සිහිගන්වමින් “නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පින් චින්තනය” යන්න පක්ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සම්මේලනය තීරණය කිරීම ඒකාධිපති බලයක් ගොඩනැගීමේ පියවරකි. මෙම සම්මේලනයේ දී ගත් තීරණ සලකුණු කරන්නේ ‘සංස්කෘතික විප්ලවයේ’ නැගිටීම් සහ මාඕගේ මරණයෙන් පසුව ඇති වූ ‘සාමූහික නායකත්වය’ යැයි කියනු ලබන පියවරයන්ගෙන් නිශ්චිත වෙන්වීමක් සනිටුහන් කිරීමකි.

    තවද චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ආන්ඩුවෙහි මධ්‍යගත පාලනය දැඩි කිරීම සහ චීන ආර්ථිකය මන්දගාමී වීම කෙරෙහි පාලක තන්ත්‍රයේ නොසන්සුන් කම කෙරෙහි ප්‍රතිචාරය පෙන්නුම් කිරීමකි. ඉදිරියේදී කම්කරු ආරවුල් ඉහළ යාමක් පිලිබඳව මතුව තිබෙන බිය සහ එක්සත් ජනපදය සමග වැඩෙන වෙලඳ හා මිලිටරි ආතතීන්ද, හේතු කොට ගෙන ෂී පාලනය බියට පත්ව ඇත. මහජන විමුක්ති හමුදාව තායිවානය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති බවට සංඥා කරමින් චීනයේ ඉහළ හමුදා නායකත්වයේ සංශෝධනයක් කිරීමට මෙම සම්මේලනය පියවර ගනු ලැබුහ. පාලන තන්ත්‍රයට තවමත් විශාල සම්පත් සහ සමාජ ආධාර සංචිත ඇති අතර ඒවා බොහෝ දුරට ආර්ථික වර්ධනය අඛණ්ඩව ලබා දීම මත පදනම් වේ. එහෙත් ෂී බලයේ සිටීම තුන්වන වාරයක් දක්වා දීර්ඝ කිරීම සහ ඔහුගේ අත්තනෝමතික භූමිකාව පෙන්නුම් කරන්නේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ශක්තියේ සලකුනු නොව, එහි යටින් පවතින දුර්වලතාවය සහ අවිනිශ්චිතතාවයයි.

    අතිශයින් විශාල ප්‍රචාරයක් සහිත පැවති සම්මේලනයට සුදානමක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මිලියන 96.7 නියෝජනය කිරීමට නියෝජිතයින් 2,296 ක් තෝරා පත් කර ගන්නා ලදි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාදාමයට විරුද්ධ හඬක් මතු වූ අතර ඔක්තෝබර් 13 වන දින, හුදකලා තනි විරෝධතාකරුවෙකු විසින් බීජිං හි පිහිටි සිටොං පාලම මත බැනර් එල්ලා ටයර් පුළුස්සා දැමීමට කටයුතු කළේය. විරෝධතා බැනර් වල තේමාවවූයේ ෂී ජින්පින්ග්ගේ පුද්ගල පෞරුෂය ඉස්මතු කිරීම ඒකාධිපතිත්වය, මානව හිමිකම්, වාරණය, ෂී ජින්පිං නැවත තේරී පත්වීමට උත්සාහ කිරීම හා ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ කම්කරු පංතියේ වැඩ කරන කාලය දීර්ඝ කිරීම ඇතුළත් විය. එක් බැනරයක මෙසේ සඳහන් විය: “පාසලේ සහ වැඩ බිමේ වැඩ වර්ජනයක් ආරම්භ කරන්න, ඒකාධිපති සහ ජාතික ද්‍රෝහී පාලනයක් ගෙන යන ෂී ජින්පින් ඉවත් කරන්න!” යනුවෙන් එහි සඳහන්ව තිබුණිරාජ්‍ය නිලධාරීන් විසින් විරෝධතාකරුවා ඉතා ඉක්මනින් ඉවත් කරන ලද නමුත්, සිටොං පාලම අසල සිදුවීම පාලන තන්ත්‍රය විසින් වාරණය කරන තෙක් එම විරෝධතාවය ගැන චීන සමාජ මාධ්‍යවල වෛරසක් මෙන් ගලා යන්නට විය. ඕනෑම ආකාරයක විරුද්ධත්වයක් මතු වීම කෙරෙහි චීන පාලන තන්ත්‍රයේ පවතින චකිතය සහ කඩිනම් මර්දනයකට යොමු වීම, ඉදිරියේ විවෘත වීමට ඉඩ ඇති වඩාත් දුෂ්කර කාල පරිච්ඡේදයේ ස්වභාවය පිළිබඳ පිළිබිඹුවකි.
    පක්ෂ සම්මේලනයේ අවසන් දිනයේදී හිටපු ජනාධිපති හූ ජින්ටාඕ රැස්වීමෙන් පිටතට බලහත්කාරයෙන් කැඳවාගෙන යන විට තවත් ප්‍රසිද්ධ නොකළ සිදුවීමක් ද එහිදී සිදුවිය. මෙම සිදුවීම යන්තම් චීන මාධ්‍යවල වාර්තා වී ඇති නමුත්, හූට සැබෑ ලෙසම අසනීප වී ශාලාවෙන් පිටවීමට උපකාර අවශ්‍ය වූයේ ද එසේත් නැතිනම් ඔහු ඉවත් කිරීම ‘හූට වඩාත් සමීපව සම්බන්ධ වූ චරිතයක් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමේ ක්‍රියාවක් ද යන්න පිළිබඳ ප්‍රශ්ණය මතු වී තිබේ. ෂීට පෙර පැවති සාමූහික නායකත්වයේ වසර කීපයට සම්බන්ධ Xiගේ වර්තමාන පාලනය විවේචනය කරන බවට වාර්තා වන CCP හි තරුණ අංශය සමග හූ ජින්ටාඩ් සමීපව කටයුතු කිරීම මෙහි සැඟවුනු අර්ථය බව දැන් ප්‍රකාශයට පත්ව ඇත.

    කොංග්‍රසයේ ආරම්භක දිනයේ, කොවිඩ් ප්‍රතිපත්තය, ආර්ථිකය, හොංකොං සහ තායිවානය ප්‍රශ්නය සමඟ සම්බන්ද කරමින් ප්‍රධාන දේශනය ෂී විසින් පවත්වන ලදී. කොංග්‍රසය නව යුගයක ආරම්භය සනිටුහන් කළ බවත්, අවසානයේදී චීනය දශක තුනකින් පමණ “නවීකරණය වූ සහ සමෘද්ධිමත් ලෝක බලවතෙකු” වනු ඇති බවත් ෂී ප්‍රකාශ කළේය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ෂී අවධාරනය කළේය. වෙනත් වචන වලින් කිවහොත්, ස්වාධීන කම්කරු ව්‍යාපාරයක් මත පදනම් වූ විපක්ෂයක් ගොඩනැගීම, පාලක තන්ත්‍රය විසින් කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කළේය. “චීන ලක්ෂණ සහිත සමාජවාදය” යන ධජය යටතේ ආර්ථිකය “ජාතික සංවර්ධනය” කෙරෙහි අවධානය යොමු කරන බව ෂී නිවේදනය කළේය. මෙය යුක්රේන යුද්ධයෙන් පසු උත්සන්න වූ බීජිං සහ වොෂින්ටනය අතර මිලිටරි ආතතීන්ගේ සහ ඔවුන්ගේ ආර්ථිකයන් ‘විසංයෝජනය කිරීමේ‘ විකාශනය වන ක්‍රියාවලියේ පිලිබිඹුවකි. ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන්, එක්සත් ජනපද-චීන වෙලඳ ආතතීන් මධ්‍යයේ 2018 දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය “ගෝලීය සම්බන්ධතා බිඳ වැටීමට” කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා ඇත. ගෝලීයකරණයේ මන්දගාමිත්වයක් පැවතියද, ලෝකයේ ප්‍රමුඛ ආර්ථිකයන් දෙක වන චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය, ලෝක ආර්ථිකය මත තවමත් රඳා පවතී. චීනයට තම භාණ්ඩ විකිණීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ දියුණු තාක්ෂණය සඳහා ලෝක වෙළඳපොළට ප්‍රවේශය අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, රටේ සෘජු විදේශ ආයෝජන මේ වසරේ මුල් මාස නවය තුළ පෙර වසරට වඩා 15.6% කින් ඉහළ ගොස් ඇත.

    එහෙත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ආධිපත්‍යයට ඇති ලොකුම තර්ජනය ලෙස චීනය සලකන අතර බීජිනයට වල කැපීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටී. ජනාධිපති බයිඩන් හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද වෙළඳ තීරුබදු නොකඩවා පවත්වාගෙන ගිය අතර එම ලැයිස්තුවට උසස් අර්ධ සන්නායක එකතු කළේය. චීනයේ ජෛව තාක්ෂණය සහ කෘතිම බුද්ධි කර්මාන්ත ඉලක්ක කර ගනිමින් නව සම්බාධක සමඟ එක්සත් ජනපදය මෙය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදයේ මෙම දැඩි වෙළඳ සම්බාධක චීන පාලන තන්ත්‍රය තමන්ගේම තාක්ෂණය දියුණු කිරීමට දරන උමතු උත්සාහයන් දැකිය හැක. ජනාධිපති ෂී 20 වැනි පක්ෂ සම්මේලනයේදී මූලික තාක්ෂණයන්හි “සටන ජය ගන්නා ලෙස” චීනයෙන් ඉල්ලා සිටියේය. දැනට, එක්සත් ජනපදය සහ චීනය අතර සම්බාධක ගැටුම ලෝකය නව අවපාතයකට ඇද දැමීමේ බරපතල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය.

    වඩා ජාතික වැඩපිළිවෙලක් පදනම මත හෝ ලෝක වෙලඳපොල හරහා හෝ මේ දෙකේම එකතුවකින් චීන පාලන තන්ත්‍රයට එය මුහුණ දෙන දිගුකාලීන ගැටළු වලින් මිදීමට මගක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ පාලනයක් සහ කළමනාකරණය යටතේ සැලසුම්ගත ආර්ථිකයක් සහ සැබෑ සමාජවාදී ජාත්‍යන්තරවාදය ඇතුළු සැබෑ සමාජවාදී චීනයකට පමනක් සමෘද්ධිය සහ සාමය සුරක්ෂිත කළ හැකිය. ධනවාදය සහ ඉඩම් හිමිකම පෙරලා දමා විදේශීය ධනේශ්වර බලවතුන් පලවා හරින ලද 1949 චීන විප්ලවය වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාව සඳහා දැවැන්ත ඉදිරි පියවරක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සැළසුම් කළ ආර්ථිකයක් යටතේ කම්කරු පන්තියට සහ දුප්පත් ගොවීන්ට සැලකිය යුතු ආර්ථික හා සමාජීය ජයග්‍රහණ ඇති විය. ලෙනින් සහ ට්‍රොට්ස්කි සහ බොල්ෂෙවික් පාලනය යටතේ 1917 විප්ලවයෙන් පසු රුසියාවේ කම්කරු රාජ්‍යයේ මුල් වසර කීපය මෙන් නොව, 1949 න් පසු ආරම්භක කාලයේදීවත් චීනයේ කම්කරු පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. ඒ වෙනුවට මාඕ තම පාලන තන්ත්‍රය ගෙන යාමට ආදර්ශයට ගත්තේ ජෝසෆ් ස්ටාලින්ගේ පාලන තන්ත්‍රය විසින් රුසියානු කම්කරු පන්තියෙන් ප්‍රජාතන්ත්‍රවාදී බලය උදුරා ගත් මිනීමරු නිලධරය උදාහරණයට ගනිමිනි.

    චීනය ලෝකයට ලාභ භාණ්ඩවල ශ්‍රම අපනයනකරු ලෙස ක්‍රියා කිරීම මත පදනම් වූ ආර්ථික වර්ධනය, පසුගිය වසර 40 තුළ ඉහල නැගීම දක්නට ලැබුණි. චීනය දැන් ලෝක ආර්ථිකයෙන් 18% කට වඩා වැඩි ප්‍රමාණයක් දරන අතර දෙවන විශාලතම රට ලෙස ශේණිගත වී තිබේ. නමුත් මෙම අසාමාන්‍ය වර්ධනය එහිම දැවැන්ත ප්‍රතිවිරෝධතා සහ ගැටලු මතු කර ඇත. එය චීනයේ සමාජ ආතතීන් උත්සන්න වීම, ධනවතුන් හා දුප්පතුන් අතර දැවැන්ත පරතරයක් ද, චීන කම්කරු ජනතාව නිර්දය ලෙස සූරාකෑම ද දක්වා වර්ධනය වී ඇත. ඉදිරි වසර 30ක් සඳහා එහි අඩුම වර්ධන අනුපාත වාර්තා කිරීම කෙරෙහි චීන ආර්ථිකය පුරෝකථනය කර ඇති අතර, දැනටමත් තරුණයන්ගේ සහ ග්‍රාමීය විරැකියා සංඛ්‍යා ඉහල යමින් පවතින අතර, සමාජ පිපිරීම් ඇති වීමේ හැකියාව පෙන්නුම් කරයි. කොවිඩ් වසංගතය නිසා දේශසීමා පාලනය සහ කඩින් කඩ අගුලු දැමීම චීනයේ ආර්ථිකය මන්දගාමී වීමට විශාල සාධකයක් වී ඇති අතර, අවම වශයෙන් පාරිභෝගික වියදම් පහත වැටීමක් ඇති නොකරයි. ඒ වගේම චීනය දේපල අර්බුදයකටත් මුහුණ දෙන අතර වැඩිවන දේපල සංවර්ධකයින් ඔවුන්ගේ ණය පැහැර හරිමින් සිටිති. මුදල් ඒකකය දුර්වල වෙමින් පවතී, ප්‍රාග්ධනය පිටතට ගලායාම ඉහළ යමින් පවතින අතර තරුණ විරැකියාව ජුනි මාසයේදී 19.3%ක වාර්තාගත ඉහළ අගයක් ගනු ලැබීය.

    මෙම වසරේ චීනයේ වර්ධනය 3.2% දක්වා මන්දගාමී වනු ඇතැයි IMF අපේක්ෂා කරයි, එය කොවිඩ් වසංගතයේ පළමු වසර හැර දශක හතරකින් පසු එහි කුඩාම ව්‍යාප්තියයි. චීනයට දිගු කාලීන ගැටලු ඇති බව IMF අනතුරු අඟවා ඇත. නිෂ්පාදනය අඩුවීම සහ වයස්ගත ජනගහනය ද ඇතුළුව. ජපානය සහ දකුනු කොරියාව ඇතුලු චීනය සමග ශක්තිමත් වෙලඳ සම්බන්ධතා ඇති ආසියාවට චීනයේ මන්දගාමිත්වය “සැලකිය යුතු ලෙස නරක” වනු ඇතැයි IMF අපේක්ෂා කරයි. චීනයේ සහ ආසියාවේ ඕනෑම මන්දගාමිත්වයක් හෝ අවපාතයක්, මේ වන විට අවපාතයන් කරා ඇදෙමින් පවතින එක්සත් ජනපදය හා යුරෝපය මුහුන දෙන ආර්ථික ගැටළු විසින් තව තවත් උග්‍ර කරනු ඇත. චීනය සහ එක්සත් ජනපදය අතර මතුව තිබෙන ආතතීන් වඩාත් පැහැදිලිව කේන්ද්‍රගත වී ඇත්තේ හොංකොං සහ තායිවානය මතය. සිය සම්මේලන කතාවේදී, ෂී කියා සිටියේ හොංකොං හි “අවුල්වලින් පාලනයට ප්‍රධාන සංක්‍රාන්තියක්” ඇති බවයි – ෂී තායිවානයේ “සාමකාමී යලි එක්වීම” සඳහා ද ඉල්ලා සිටි නමුත් බලය භාවිතා කිරීම අත් නොහරින බවට දිවුරුම් දුන්නේය. ලෝක වේදිකාවේ චීනයේ ආස්ථානය ගැන ෂී පුරසාරම් දොඩමින් මෙසේ පැවසීය: ”චීනයේ ජාත්‍යන්තර බලපෑම, ආකර්ෂණය සහ ලෝකය හැඩගැස්වීමේ බලය සැලකිය යුතු ලෙස වැඩි වී ඇත යනුවෙනි.”

    20 වැනි ජාතික සම්මේලනයෙන් ඉක්බිතිව, ඇමරිකානු පෙන්ටගනයේ ආරක්ෂක මූලෝපායික ලියවිල්ලක් පැවසුවේ, චීනය සමඟ ගැටුමක් “නොවැළැක්විය හැකි හෝ යෝග්‍ය නොවන” නමුත්, බීජිනයේ “ප්‍රධාන කලාපවල ආධිපත්‍යය” වැළැක්වීමට උත්සාහ කළ යුතු බවයි. මෙය දකුණු චීන මුහුදේ චීනය විසින් විශාල මිලිටරි බලය ගොඩ නැගීම සහ තායිවානය දෙසට එහි වැඩි පීඩනය යෙදවීම පිලිබඳ කරන ලද සඳහනකි.
    පෙන්ටගන ලේඛනය යුක්රේනයේ රුසියාවේ යුද්ධය සටහන් කරන අතර රුසියාව එහි න්‍යෂ්ටික අවි, සයිබර් මෙහෙයුම් සහ දිගු දුර මිසයිල සමඟ එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට බරපතල තර්ජනයක් බව පවසයි. එහෙත්, “ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ ඒ සඳහා වැඩි වැඩියෙන් බලය ඇති එකම තරඟකරුවා චීනයයි”, යනුවෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කළේය. රුසියාවේ සහ චීනයේ ප්‍රධාන න්‍යෂ්ටික සන්නද්ධ තරඟකරුවන් දෙදෙනෙකුට එක්සත් ජනපදය මුහුණ දී සිටින බව පෙන්ටගන ලේඛනයේ සඳහන් වේ. ඇත්ත වශයෙන්ම, සම්මේලනයෙන් ඉක්බිතිව, චීනයේ විදේශ ඇමති, වැන්ග් යී, රුසියාවේ සිටින ඔහුගේ සගයා වන සර්ජි ලැව්රොව්ට දුරකථන ඇමතුමක් දුන්නේ, “චීනයේ සහ රුසියාවේ ප්‍රගතිය අවහිර කිරීමට දරන ඕනෑම උත්සාහයක් කිසිදා සාර්ථක නොවනු ඇති” බව පෙන්වීමටය. යුක්රේනයේ රුසියාවේ විනාශකාරී යුද ප්‍රයත්නය ගැන බීජිනය දැඩි ලෙස විවේචනය කර ඇතත්, එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට එරෙහිව රුසියාවේ අත්‍යවශ්‍ය සහචරයෙකු ලෙස පවතී. බොහෝ මිලිටරි විචාරකයින්ගේ මතය අනුව චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීම ආසන්න නොවුනත්, චීනයේ නැගී එන බලය සහ එක්සත් ජනපදයේ බලය පිරිහෙමින් පවතින තාක් කල් එය තත්ත්වයේ ‘තර්ක’ තුළ රැඳී තිබේ. අවසාන වශයෙන්, ස්වාධීන පන්ති වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීමෙන් යුද්ධ හා මිලිටරිකරණ අනතුරු කපා හැරිය හැක්කේ චීනයේ සහ ආසියාවේ සහ ලෝකය පුරා සිටින සංවිධිත කම්කරු පන්තියට පමනි.

    2014 දී දෙරට අවසන් වරට හමුවු අවස්ථාවේ සිට නේටෝ හමුදාවන් විසින් දැඩි ලෙස සම්පත් හා පුහුණු කරන ලද යුක්රේන හමුදාවට මුහුණ දීම සඳහා සූදානම් නොවී යුක්රේනයට තම හමුදාව යැවූ මොස්කව්හි මිලිටරි වැරදි පියවර වලින් බීජිං ඉගෙන ගනු ඇත. බොහෝ බටහිර යුධ විශේෂඥයින් විසින් ඇස්තමේන්තු කර ඇත්තේ චීනය විසින් තායිවානය සාර්ථකව ආක්‍රමණය කිරීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇති බවයි. මෙය එසේ වුවද, මේ අතර, එක්සත් ජනපද සහ චීන හමුදා නාවික යාත්‍රා අතර ඇති වන ගැටුම් ඇතුළුව කලාපයේ ඕනෑම ‘අහම්බ’ සිදුවීම් මගින් වඩා පුළුල් හා විනාශකාරී ගැටුමක් ඕනෑම මොහොතක අවුලුවාලිය හැකි බවයි. මෙම තත්වයට මුහුණ දීම සඳහා චීනයේ සහ සමස්ථ ආසියාව පුරා ධනේෂ්වරයෙන් ස්වාධීන වූ පන්ති වැඩපිලිවෙලක් සමග කම්කරු පන්තියේ බහුජන පක්ෂ ගොඩනැගීම අත්‍යවශය සාධකයකි. එමගින් ධනපතියන් සහ ධනවාදී නිලධාරී පැලැන්තිය පාලන බලයෙන් ඉවත් කිරීමටත්, කම්කරුවන්ගේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හඳුන්වා දීමටත් අත්‍යවශය පූර්ව අවශ්‍යතාවයක් බව අවධාරණය කළ යුතුය.

    රතු තරුව විදේශ ලියුම්කරු……

  • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

    දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

     

    දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල 

     

    1.  එක්සත් සමාජවාදී පක්ෂය මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ ලාංකීය දේශපාලනය අතිශය ගැඹුරු අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන මොහොතකය. ලංකාවේ දේශපාලනය මෙම දිනවල දිනපතාම පාහේ වෙනස් වන බව ප්‍රකාශ කළහොත් එය අතිශයෝක්තියක් නොවන්නේ. සංකේතාත්මක වශයෙන් මෙම වසරේ මාර්තු මස 31 වෙනිදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස අසලින් ආරම්භවූ ජනතා විරෝධය දින ගනන් සති ගනන් හා මාස කීපයක් ඇතුලත මුලු ලංකාවම වෙලාගත් දැවැන්ත ජනතා අරගලයක් බවට පත්විය. මැයි 9 හා ජූලි 9 යන සංඛේතාත්මක දිනවල ඇතිවු ජන අරගලය තුලින් රාජපක්ෂ පවුල ආණ්ඩු පාලනයෙන් ඉවත් කිරිමට සමත් විය. දැන් එම අරගලය රනිල් වික්‍රමසිංහ බලයෙන් පන්නා දැමිම සඳහා වූ දිග්ගැසුණු ක්‍රියාවලියක් බවට පරිවර්තනය වී ඇත.

    2.   දරුණු පාලනයක් ගෙන ගිය ගෝඨාභය බලයෙන් පහකර දැමිමට සමත්වූ ජනතා අරගලයේ ක්‍රියාකාරිත්වය දකුණු ආසියාතික කළාපය තුල ඒ අන්දමේ පාලනයන් ගෙන යමින් සිටින ඉන්දියාව පකිස්ථානය බංගලාදේශය නේපාලය හා මාලදිවයින යන ධනපති රටවල පාලකයින් හිරිවැටිටවීමට හේතුවිය. කම්කරු පංතිය, තරුණයින්, ධිවරයින් හා පහල මධ්‍යම පන්තිකයින් ඇතුලු පීඩිත ජනතාව මුහුණ දෙමින් සිටින ඉසිලිය නොහැකි අධික ජීවන බර මෙම අරගලය ඉස්මතුවීමට හේතුවිය. පුද්ගලික වාහන සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු යනාදිය සඳහා අවශ්‍ය කරන ඉන්ධන හිඟයද ගෘහස්ත ගෑස් ලබා ගැනීම සදහා දින ගනන් පෝලිම් වල ගත කිරිමට සිදුවිම සමග දෛනික ජීවිතය පවත්වාගෙන යා නොහැකි තත්වයට අමතරව දිනපතා පැය ගනන් විදුලිය කප්පාදු කිරිම නිසා ජනතාවගේ විරෝධය උච්චස්ථානයකට පත්විය. ආහාර ද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළයැම සමග ජනතාව සාගින්නට ඇද දමා තිබේ. ඉන්ධන හිඟය සමඟ මගී ප්‍රවාහනය අඩාල වූ තත්වය තුල ආණ්ඩුව රට අගුලු දැමීමක තත්වයට පත්වූ අතර පාසැල් අධ්‍යාපනය සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාකරනු ලැබීය. රාජ්‍ය අංශය අක්‍රිය භාවයට පත්කළ අතර අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල පමණක් සේවයට කැඳවීමට සිදුවිය.

    3.  මෙම පසුබිම තුළ දෛනික ආදායම් ලබන අංවිධිත කේෂ්ත්‍රයේ නියැලි කම්කරු පංතියේ ආදායම් සම්පූර්ණයෙන්ම පාහේ බිදවැටී ඇත. ත්‍රිරෝද රථ වලින් ජිවිකාව ගෙනගිය ලක්ෂ 10ක් පමණ වන කොටස්වල ආදායමද විශාල අර්බුදයකට ඇද වැටුනි. ඉදිකිරීම් කර්මාන්තය ද සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි විය. විදේශ විනිමය අර්බුදය නිසා කර්මාන්ත ශාලා වැසීයන තත්වයක් උද්ගතවූ අතර ඇගලුම් කර්මාන්තයේ නියැලී කම්කරුවන් විශාල සංඛ්‍යාවකටද රැකියා අහිමි විය. කෝවිඩ් වසංගතය සමග සංකෝචනයවූ මැදපෙරදිග ගෘහ සේවය නැවත යථා තත්වයට පත් නොවීම නිසා එම කේෂ්ත්‍රයේ කටයුතු කළ බොහෝ දෙනෙක්ගේ රැකියා අවස්ථා අහිමි විය. මෙම තත්වය ඇති වුනේ පෙර නුදුටු අන්දමේ අර්බුදයකට සමස්ථ ධනේෂ්වර ලෝකයම මුහුණ දෙමින් සිටින පසුබිමකය. කෝවිඩ් වසංගතය සමග ආරම්භවූ 2020 දශකය ලෝක පරිමානව නොනවතින අර්බුදයන්ගේ දශකයක් වනු ඇත. තාවකාලික පැලැස්තර දැමිය හැකි වුවද අර්බුදයට විසදුම් ඉදිරිපත් කිරිමට ධනවාදය අපොහොසත්ය. රුසියන් යුක්රේන යුද්ධය බලාපොරොත්තුවුවාට වඩා දිග්ගැසී යන යුද්ධයක් බවට පත්ව ඇත. මේ මගින් ලොවපුරා ආහාර අර්බුදයක් උද්ගතකර තිබෙන අතර අප්‍රිකාව ආසියානු කලාපවල ජනතාවට මෙම අර්බුදයට මුහුණදීමට සිදුව තිබේ. යුක්රේන යුද්ධයේ බලපෑම ඉතා දුර්වල තත්වයකින් පවතින ලංකාවේ ආර්ථිකයට මරණීය පහරක්වී ඇත.

    4.  ඉහත තත්වය උද්ගතවූයේ ලංකා ඉතිහාසයේ නොවු විරූ ආර්ථික අර්බුදයකට ඇදවැටී සිටින අවධියකය. දශක ගනනාවක් තිස්සේ ඇදී එමින් පැවැති විදේශ විනිමය (සෙවරී බැදුම්කර) අර්බුදය ගෝඨාභයගේ උද්දච්ච හා මෝඩ පාලනය නිසා ගොඩගත නොහැකි අර්බුදයක් බවට පත් විය. කෘෂි කර්මාන්තය විශාලම අර්බුදයකට ඇද දමනු ලැබුවේ රසායනික පොහොර භාවිතය එක රැයකින් සහමුලින්ම නතර කිරිමට ගත් තකතීරු ගොන් තීන්දුව නිසාය. රටේ ජනගහනයෙන් සියයට 70ක් පමණ වන කෘෂිකර්මාන්තයේ නියැලි ගොවි ජනතාව සිය දහස් ගනනින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පවත්වනු ලැබීය. කෘෂි නිෂ්පාදනය සියයට 50කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුනු අතර සහල් නිෂ්පාදනය විශාල වශයෙන් කඩා වැටීම නිසා පිටරටවලින් සහල් ගෙන්වීමට සිදුවූයේ හාල් ඇටයක්වත් පිටරටින් නොගෙන්වන බවට ඇමතිවරු දෙසු වහසිබස් විහිලු කතා බවට පත් කරමිනි. ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාරය වන හාල්වල මිල හතර පස් ගුණයකින් ඉහල ගිය අතර රටතුල විශාල හාල් හිගයක්ද නිර්මාණය කෙරින. මේ අතර අඩු ආදයම් ලබන ජනතාවට දිනපතා එක් ආහාර වේලක් හෝ දෙකක් කපා දැමීමට සිදුවු පසුබිම මධ්‍යයේ ජනතාව තුල පොදුවේ බරපතල ආණ්ඩු විරෝධයක් නිර්මාණය වුනි.

    5.  රටතුළ මතුවූ ආර්ථික අර්බුදය කොතරම්ද කිවහොත් 2018 වසරේ ඩොලර් බිලියන 94ක්වු දළ දේශීය නිෂ්පාදනය 2022 වන විට බිලියන 76ක් දක්වා පහල වැටුණි. විදේශ  විනිමය සංචිතය බිංදුව දක්වා පහත වැටුණු අතර ඉන්ධන බෙහෙත් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරිම සදහා විදේශ රටවලින් ඩොලර් හිගාකෑමට සිදුවිය. ඉන්දියාව හා චීනයෙන් පමණක් නොව බංගලාදේශයෙන් පවා ඩොලර් හිගාකෑමේ තත්වයට ලංකාව ඇද වැටුනි. ඩොලර් අර්බුදය කොතරම් වේදයත් මහබැංකුවට අනුව ඩොලරයේ වටිනාකම නිල වශයෙන් රුපියල් 365ක පැවතියද එහි සැබෑ අගය රුපියල් 450 ඉක්මවා තිබීමය. මෙම පසුබිම තුළ විදේශ ගතව සේවය කරන ලාංකික ශ්‍රමිකයන් උන්ඩියල් හා හවාලා ක්‍රමය ඔස්සේ රටට මුදල් එවීමට යොමුවිම අරුමයක් නොවන්නේය.

    6.  ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල (IMF ) ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතනවලට හා ඇමරිකාව ජපානය ඉන්දියාව හා චීනය වැනි රටවලට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52 ඉක්මවා ගොස් ඇත. උදාහරණයක් වශයෙන් මෙම වසරේ ජුලි හා දෙසැම්බර් අතර ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කි. මෙයට අමතරව ඉදිරි වසර 5 තුල අනිවාර්යයෙන් ගෙවිය යුතු විදේශ ණය මුදල් මෙසේය. 2023 වසර  ඩොලර් බිලියන 6ක්ද 2024 ඩොලර් බිලියන 5ක්ද 2025 ඩොලර් බිලියන 6ක්ද 2026 ඩොලර් බිලියන 4ක් හා 2027 ඩොලර් බිලියන 4ක්ද ගෙවීමට නියමිතය. මෙම ණය මුදල් ගෙවීම සදහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නොමැති අතර ඔහුගේ විසදුම වන්නේ තව තවත් ණය විදේශ රටවලින් ලබාගෙන ණය ගෙවිම හා දේශීය සම්පත් විදේශික ජාවාරම්කරුවන්ට විකුණා මුලු රටම දිගුකාලීන විශාල අගාධයකට ඇද දැමිම පමණි.

    7.  2022 පළමු කාර්තුවට අදාලව දළ දේශීය නිෂ්පාදිතය සෘණ 1.6 දක්වා පහලට වැටුණි. 2022 වසරේ සමස්ථ ආර්ථික වර්ධන වේගය සෘණ 7ක් දක්වා දරුණු බිද වැටීමක් සිදුවනු ඇත. ආර්ථිකය  මෙපමණ විශාල ප්‍රමාණයකින් කඩා වැටීමට හේතුව හැටියට ගෝඨාභයගේ ආණ්ඩුව විසින් පෙන්නුම් කරනු ලැබුවේ කෝවිඩ් වසංගත තත්වයයි. නමුත් මෙය ඇත්ත හේතුව නොවන අතර එය කෝවිඩ් වසංගතයේ බලපෑම තමන්ට අවශ්‍ය පරිදි අතිශයෝක්තියට ලක් කිරීමකි. ආර්ථික අර්බුදයට සැබෑ හේතුව මෙතුවක් කල් රට පාලනය කළ ධනපති ආණ්ඩුවල වැරදි ආර්ථික කළමණාකරනය හා ඉතා විශාල ලෙස සිදුව තිබෙන දූෂණය මංකොල්ලකෑම හා නාස්තියයි. 2020  වසරේ සියයට 11ක්ව පැවැති ආහාර උද්ධමණය 2022 ජුලි වන විට සියයට 90ක් ඉක්මවා ඇත. මහ බැංකුව නිකුත් කරන උද්ධමන රේට්ටුව නිවැරදිව ගනනය නොකරන තත්වයක වුවද මේ වනවිට උද්ධමනය අධි උද්ධමන තත්වයක් කරා ගමන් කර ඇති අතර මෙම වසරේ ජුලි වන විට උද්ධමනය සියයට 60 ඉක්මවා ඇති අතර මෙම වසර අවසාන වනවිට උද්ධමනය සියයට 75ක් හෝ 80ක් හෝ ඊටත් වඩා ඉහලයෑමට හැකි බව මහබැංකු නිවේදනවල සදහන්ය. ස්වාධින ඇමරිකානු ආර්ථික  විද්‍යඥයෙකු වන ස්ටීව් හැන්ක් (Steave Hank) පවසන්නේ ලංකාවේ උද්ධමනය මේවන විට සියයට 130කට ආසන්න අගයක් ගන්නා බවයි.

    8.  මෙම පසුබිම තුළ චීනයට අමතරව ඉන්දියාව හා ඇමරිකාව ලාංකිය ආර්ථිකය එම රටවල දේශපාලන උවමනාවන්ට අනුව හැසිරවීම සදහා බලගතු පියවරයන් ගනිමින් සිටී. ඉන්දියාවේ  ප්‍රධාන කෝටිපති ධනපතියෙකු වන අදානි සමාගම කොළඹ වරායේ බටහිර ජැටියේ සියයට 51ක කොටස් වලට හිමිකම් ලබා ගැනිම ඉන් එක් පියවරකි. දෙවැන්න ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම කෙරවලපිටිය ද්‍රවී ස්වාභාවික ගෑස් (LNG) ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 250කට මිලදී ගැනීමය. මෙම සිදුවීම මගින් පෙන්නුම් කරනුයේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික ප්‍රතිපත්ති සාපේක්ෂ වශයෙන් ඉන්දියාවට හා බටහිර දෙසට මාරුවීමකි. ඒ අතර  මෙම නව සම්බන්ධතා චීනයට තර්ජනයක් නොවන බව පෙන්වීමට හිටපු ජනාධිපති ගෝඨාභය මෙන්ම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කටයුතු කරමින් සිටී. එසේ වුවද පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ලේකම් ලංකාවේ සිදුකල සංචාරය හුදෙක් ආචාරශිලිත්වයක් ප්‍රකාශ කිරිමක් නොව ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දිය ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීමට සිමාවුවක් නොවු අතර එමගින් ලංකාවට බරපතල දේශපාලන ඇඟවිමක් සිදුකරන ලද බව නොරහසකි.

    9.  මේ වන විට ආසියානු පැසිපික් කලාපයේ සිදුවන විශාල යුද්ධ සැලසුම් හා මෙහෙයුම් දකුණු ආසියානු කලාපයටද විශාල බලපෑමක් එල්ලකර ඇත. තායිවානය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ආක්‍රමණශීලී ක්‍රියාවන් ඇමරිකාවට අලුත් අභියෝගයක් මතුකර තිබෙන අතර රුසියානු – යුක්රේනය මාදිලියේ තවත් යුද්ධයක් දෙසට වර්ධනයන් වේගයෙන් සිදුවෙමින් පවති. මේ අතර ලංකාවේ ධනපති පාලකයින්ගේ අදුරදර්ශී ජාත්‍යන්තර දේශපාලන කටයුතු හේතු කොට ගෙන ලංකාව අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උවමනාවන් වලට යටත්ව කටයුතු කරන රටේ ස්වාධීනත්වය අහිමිකර ගත් බහු ධ්‍රැවීය අර්බුද සහිත රාජ්‍යයක් බවට පත්ව ඇත. මෙම උනුසුම්වන භුදේශපාලන පසුබිම තුළ ආසන්න වශයෙන් ඉන්දියාව හා චිනය ලංකාව බෙදා පාලනය කිරිමේ තත්වයක් නිර්මාණයවී ඇත. හම්බන්තොට වරාය හා කොළඹ ඉදිකෙරෙමින් පවතින වරාය නගරය චීන ආධිපත්‍යය තුල කටයුතු කෙරෙන අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ පාලනයද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල බහුතර අයිතියටද අමතරව කන්කසන්තුරේ වරාය හා පලාලි ගුවන්තොටුපල පාලනයටද ඉන්දියාව අතගසා ඇත. මේ අතර අලුත්ම වර්ධනය වන්නේ ඉතාම විශේෂිත ඝනයේ සන්නිවේදන උපකරණවලින් සමන්විත චීන යුද්ධ නෞකාවක් (යුආන් වැන්ග් – 5) අගෝස්තු මස හම්බන්තොට වරායට පැමිණ දකුණු ඉන්දිය මුහුද ආශ්‍රිතව සිදු කරන ලද විශේෂිත පරීක්ෂණයයි. මේ ගැන ඉන්දියාව හා ඇමරිකාව තම දැඩි විරෝධය ලංකාවේ ආණ්ඩුවට ප්‍රකාශ කර ඇත. ඉන්දියාව විසින් චීනයේ මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් ප්‍රතිචාර දැක්විම බලාපොරොත්තු විය යුතු අතර ලංකාවට මුහුණදී සිදුව තිබෙන්නේ තින්දුවක් ගත නොහැකි අන්දමට කලාපිය බලවතුන්ගේ උවමනාවන්ට යටත්ව තිබෙන්නේ පහසුවෙන් පාලනයකරගත නොහැකි අර්බුදයකටය.

     

    ජන අරගලයේ ස්වභාවය හා ඉදිරි හැඩ ගැසීම්

     

    10.  මාර්තු 31 සිට ජුලි 9 වෙනිදා වෙනි දින දක්වා ක්‍රියාත්මකවු ජනතා නැගිටීම් මාලාව විප්ලවවාදි නැගිටීමක පූර්ව ලක්ෂණ වලින් සමන්විත වියග ජනතා අරගලයේ බලපෑම නිසා මැයි 9 වන විට අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කෙරුනු අතර ඇමති මණ්ඩලයද අහෝසි වි ගියේය. ඒ සමගම මහබැංකුවේ අධිපති ලෙස කටයුතු කළ කුප්‍රකට දූෂිතයෙකු හා රාජපක්ෂ පවුලේ ගැත්තරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වීමට සිදුවිය. මෙම පසුබිම තුළ එම දින කිහිපය ආණ්ඩුවක් නොමැති අරාජික තත්වයට රට ඇද වැටුනු අතර දින කීපයක් යන තුරු අගමැතිවරයෙකු හෝ කැබිනට්ටුවක් නොවීය. අවසානයේදී ඉන්දියාව හා අධිරාජ්‍යවාදින්ගේ මැදිහත්වීම මත පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගත නොහැකි මට්ටමට පාරාජිකවු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වූ රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත් කරනු ලැබීය.

    11.  මැයි 9 වෙනිදා සහ ජුලි 9 වෙනිදා සිදුවු ජනතා නැගිටීම විප්ලවකාරී නැගිටීමක් විය. දේශපාලන වශයෙන් පැහැදිලි අරමුණකින් හා වැඩ පිළිවෙලකින් තොරව ආරම්භවු ජනතා නැගිටීම තුල ප්‍රධාන ක්‍රියාකාරි සාධකය වුයේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි නාගරික පහල මැද පන්තික කොටස්ය. ඒ සමග විවිධ සුළු ධනේෂ්වර කණ්ඩායම් ගෝල්ෆේස් පිටිය මූලික කරගෙන එය අත්පත් කරගෙන ජන අරගලය පෝෂණය කරනු ලැබූ අතර ආරම්භයේදී කම්කරු පංතියේ දායකත්වය කැපී පෙනෙන මට්ටමක නොවීය. ඔවුන්ගේ ප්‍රධාන සටන්පාඨය වුයේ  ‘‘ගෝටා ගෝ හෝම්” යන්න හා රාජපක්ෂවරු පාලන බලයෙන් ඉවත් කිරිමය. සීමිත ඉලක්කයක් සහිතව අරගලකරුවන් ක්‍රියාත්මකවුවද මහජන නැගිටීම් ආණ්ඩු පාලනය පෙරලා දැමිම දක්වා ව්‍යාප්තවු අතර එම නැගිටීම තුල ජනතා බලයේ ශක්තිය මැනවින් පිළිබිඹු විය. ධනපති රාජ්‍ය යාන්ත්‍රණය දෙදරවීමට තරම් ජනතා අරගලය ශක්තිමත්වු අතර හමුදාවේ හා පොලිසියේ පහල මට්ටමේ භටයින්ගෙන් සැලකිය යුතු කොටසක් අරගලයට නිහඬ සහයෝගය ප්‍රකාශවීම අඩුතක්සේරු නොකල යුතුය.

    12.  මැයි 9 හා ජූලි 9 යන දින දෙකක හා අවස්ථා දෙකකදී සිදුවු මෙම ඓතිහාසික නැගිටීම දෙයාකාරයකින් සිදුවිය. මැයි 9 වෙනි දින සිදුවු ජනතා නැගිටිම උතුරේ යාපනය ප්‍රදේශය හැර සමස්ථ ලංකාව පුරා විහිදීගිය විප්ලවීය හැඩයක් ගත් අසංවිධිත ජනතා නැගිටීමකි. එදින ජනතාව තම ගම්බිම් හා නගරවල ස්වෙච්ජාවෙන් වීදි බැස රාජපක්ෂ ආණ්ඩු පාලනයට අභියෝග කළෝය. ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන්ගේ හා ආණ්ඩුවේ ප්‍රාදේශිය දූෂිත දේශපාලඥයින්ගේ නිවාස හා කාර්යාල පවා ගිනිබත් කිරිම දක්වා අරගලය දියත්වුනි. මෙම ජනතා නැගිටීම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට සම්බන්ධ වුවක් නොවීම කැපී පෙනෙන්නට විය. ජනතාව එදින රාත්‍රිය පහන් වනතුරු ගම් හා නගරවල විදිපුරා ජනතා බලය තහවුරු කරමින් කටයුතු කරන ලද්දේ කිසිම පක්ෂයක මධ්‍යගත මෙහෙයවිමක් නොමැතිවය. හමුදාව හා පොලීසිය ජනතා අරගලය මර්ධනය කිරීමට මැදිහත් නොවී ඉවත බලාසිටිනු දක්නට හැකිවිය.

    13.  අරගලය හරහා මතුවූ ජනතා විරෝධය නොතකාහැර තවදුරටත් ජනාධිපතිධුරයේ රැදී සිටීමට ගෝඨාභය කටයුතු කිරීම හේතුකොටගෙන ගෝඨාභයට එරෙහි ජනතා ක්‍රියාකාරිත්වය ජුලිමස වන විට උච්චස්ථානයකට පත්වෙමින් තිබුනි. මැයි 9 දිනට මාස දෙකකට පසුව ජුලි 9 වෙනිදා ඇතිවු ජනතා නැගිටිම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ සැම ප්‍රදේශයකින්ම ඒකරාශීවී ජනාධිපති මන්දිරය අල්ලා ගැනීම සිදුවිය. මෙය ජනාධිපති ගෝඨාභයට උමං මාර්ගයක් හරහා නැව් නැග පලායැමට හේතුවූ දැවැන්ත මහජන ක්‍රියාවලියක් විය. මෙලෙස ජනතාව ජුලි 9 වෙනි දින ඈත ගම් නියම් ගම් වල සිට පැමිනියේ එදින කොළඹ නගරයට පනවා තිබු ඇදිරි නීතිය නොතකා වන අතර බස් හා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් නවතා දමා තිබු පරිසරයකය. එසේ වුවද ගාල්ල නුවර වැනි දුම්රිය ස්ථානවලට රැස්වු දස දහස් ගනන් ජනතාව බලහත්කාරයෙන් දුම්රිය ධාවනය ක්‍රියාත්මක කර කොළඹට පැමිණිම පෙන්නුම් කරනු ලබන්නේ විප්ලවකාරී පරිසරයක් තුළ බාදාවන් බිද ගෙන ජනතාවට පාලනය තම අතට ගැනිමට තිබෙන හැකියාවයි.

    14.  ශක්තිමත් හා සංවිධානාත්මක විප්ලවවාදී පක්ෂයක් නොතිබිම හේතුකොට ගෙන රටපුරා පසුගිය මාස කිපය තුල ඇතිවු විප්ලවකාරී ජනතා නැගිටීම පූර්ණ ජයග්‍රහණයකින් අවසන් කිරිමට නොහැකිවු අතර දේශපාලනික වශයෙන් විශාල හිදැසක් නිර්මාණය කරන ලදී. සාපේක්ෂ වශයෙන් විශාල ජන පදනමකින් තොර පක්ෂයක් වන අප පක්ෂයට මෙම පසුබිම තුළ මැදිහත්වීමට සිදුවුයේ සිමාන්තික වශයෙනි. රටපුරා විහිදීගිය ශක්තිමත් කේඩරයක් සහිතව සිටියේ නම් මෙම ජනතා නැගිටීමට මෙයට වඩා වෙනස් මගක් ගැනිම සදහා මැදිහත්විය හැකිව තිබුනි. මෙම පසුබිම තුල අරගලයට නායකත්වය සැපයිම සඳහා මහා වැඩ වර්ජනයක් සහිත ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවෙන් කම්කරු පංතිය වෙත පැවරී තිබෙන ඓතිහාසික වගකිමට උරදීම සදහා වෘත්තිය සමිති කේෂ්ත්‍රය තුළ නිරන්තර අරගලයක යෙදි සිටියෙමු.

    15.  ගෝල්ෆේස් අරගල ක්‍රියාකාරින් විසින් ජුලි මස 5 වෙනි දින ඉදිරිපත් කරන ලද ඉල්ලිම් වලට අපගේ සහයෝගය පළකර සිටි අතර අපගේ මතවාදය ඒ සමග ඉදිරිපත් කර සිටිමු. එය ලංකාව තුල මතුවී තිබෙන දැවැන්ත අර්බුදයට මුලික හේතුව ධනේෂ්වර ක්‍රමයේ අසාර්ථක බාවය යන්න පිළිගැනිමට ඔවුන්ට නොහැකිවිම එම අරගලයේ සීමා මායිම් පෙන්නුම් කරනු ලැබීය. ධනපති ආණ්ඩු පාලනය පෙරලා දැමීමකින් තොරව ජනතා අභිලාෂයන් ජය ගැනිමට නොහැකි බව එම ඉල්ලිම් වලට අන්තර් ගත නොවිම ගැන අපගේ මතය අපි විවෘතව ප්‍රකාශ කර සිටියෙමු.  එසේම ධනපති විද්වතුන් විසින් රටතුල ගොඩනගා තිබෙන වැරදි මතවාදයක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) හරහා රට අර්බුදයෙන් ගොඩගත හැකිය යන්න ගැන අරගල කරුවන්ගේ ප්‍රකාශණයේ කිසිවක් සදහන් නොවිම කෙරෙහි අපේ අවධානය යොමුකළ යුතුය. එසේම අරගලකරුවන් විසින් ප්‍රකාශිත වැඩපිළිවෙලේ අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැගීම සදහා අවකාශය සලසාදී ඇති අතර එසපයේ මතවාදය වන්නේ අන්තර්කාලින ආණ්ඩුවක් වර්තමානයේ ශ්‍රීලාංකික ජනතාව මුහුණදෙන කිසිදු මුලික ප්‍රශ්නයක් විසදිමට අසමත්වන බවය අන්තර්වාර ආණ්ඩු හෝ ඊනියා සර්වපාක්ෂික ආණ්ඩු සූත්‍රය වනාහි සටන්බිමට අවතීර්ණවී සිටින කම්කරුවන් හා ගොවීන් නොමග යැවීම සදහා ධනපති පංතිය විසින් අටවනු ලබන උගුලකි.

     

    කම්කරු පංතිය හා වෘත්තිය සමිති ව්‍යාපාරය

     

    16.   අප්‍රේල් මාසය වන විට ජන අරගලය පුපුරායෑම සදහා සියලු කොන්දේසි රට අභ්‍යන්තරයේ නිර්මාණයවී තිබුනි. කම්කරු පංතිය දිනපතාම විවිධ උද්ඝෝෂණ වලට ඉතා දැඩි උනන්දුවකින් සහභාගිවීම කැපී පෙනුනි අනෙක් පැත්තෙන් ගෝල්ෆේස් අරගලකරුවන්ගේ උද්ඝෝෂණද පුලුල් ජනතාවගේ සහයෝගය ලබමින් වර්ධනය වෙමින් පැවතින. නායකත්වයකින් තොරව වුවද රාජපක්ෂ පවුල් පාලනය අවසන් කිරිමේ අරගලය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් කරා වර්ධනය වන්නට විය. එසේ වුවද වෘත්තිය සමිති නායකත්වය කටයුතු කරනු ලැබුවේ කම්කරු පංති විඥාණයට බොහෝ පිටුපසිනි. වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව තුල මහා වැඩ වර්ජනයක් මැදිකරගත් හර්තාලයක් කැදවා මෝදු වෙමින් එන විප්ලවකාරි තත්වයට නායකත්වය දිමට කටයුතු කිරිමේ අව්‍යශ්‍යතාවය අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු. එසපය දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති වෙත විවෘත ආයාචනයක් කරමින් කම්කරු පංතිය නැගී එන විප්ලවකාරි තත්වයට නායකත්වය සැපයිමේ අනිවාර්ය අවශ්‍යතාවය අවධාරනය කරමින් සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගනිමින් කටයුතු කළෙමු. එසේ වුවද වෘත්තිය සමිති නායකත්වය වැඩ වර්ජන තින්දු වලට එළැඹිමට කටයුතු කරනු ලැබුවේ ඉතාමත් මන්දගාමී අන්දමටය.

    17.  1980 වැඩ වර්ජනයේ පරාජයෙන් පසුව යම් ප්‍රමානයකට වෘත්තිය සමිති ව්‍යාපාරය නැවත ප්‍රකෘති තත්වයට පත්වුයේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක කෙරුන සාර්ථක ගුරු වැඩ වර්ජනය සමගය. සමස්ථ කම්කරු පංතියට ගුරු වැඩ වර්ජනයේ ජයග්‍රහණයත් සමග ඉතා සටන්කාමී ආස්තානයකට ගමන් කරන්නට විය. එම පසුබිම තුල වුවද වෘත්තිය සමිති ව්‍යාපාරය එක මධ්‍යස්ථානයකට ගොනු කර ගැනිමට නොහැකිවිම පංති අරගලයට විශාල බාධාවක් විය. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සපයන වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය හා ලංකා ගුැරුසංගමය බැංකු සේවක සංගමයල සී. එම්. යූග ව හා තවත් ස්වාධීන වෘත්තිය සමිති වලට නායකත්වය සපයන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව යනුවෙන් මධ්‍යස්ථාන දෙකකට වෘත්තිය සමිති ව්‍යාපාරය බෙදී පවති මෙම හේතුව නිසා එකම ඉල්ලීම් හා එකම සටන්පාඨ මත එකම දිනයක ස්ථාන දෙකක උද්ඝෝෂණ වලට කම්කරු පංතිය කැදවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම කණගාටුදායකය. වෘත්තිය සමිති තුළ පවතින වාද විවාද පසෙකලා පංති සටන පෝෂණය කිරිම වෙනුවෙන් එක් මධ්‍යස්ථානයක් ගොඩනැගිම කෙරෙහි අප නිරන්තර අරගලයක නිරතව සිටිමු.

    18.  මේ සියලු බාධක මධ්‍යයේ අප්‍රේල් 28 මහා වැඩ වර්ජනයක් කැදවීමට වෘත්තිය සමිති නායකත්වයට සිදුවිය. අප්‍රේල් 28 වැඩ වර්ජනය සමග රාජපක්ෂ ආණ්ඩුව අර්බුදයට ගමන් කිරිම ආරම්භ විය. සැබැවින්ම වැඩ වර්ජනය එක් දිනකට සිමා කරමින් ක්‍රියාත්මකවුවද බොහෝ අංශවල කම්කරුවෝ වැඩ වර්ජනය දිගට පවත්වාගෙන යෑමේ අව්‍යශතාවය බරපතල අන්දමට ප්‍රකාශ කරන්න වූහ. ඉන් පසුව මැයි මස 6 වෙනි දින මහා වැඩ වර්ජනය සමග හර්තාලයක් කැදවිමට පසුබිම් වූයේ පංතිය තුලින් නැගී ආ විශාල ආණ්ඩු විරෝධී උනුසුම තුලය. රටපුරා  කඩ සාප්පු වසා දමා සාමාන්‍ය ජනතාව හර්තාලය සාර්ථක කිරිමට කටයුතු කළ අතර විශේෂයෙන් කදුරට වතුකරයේ දෙමළ කම්කරුවෝ ඉතා උනන්දුවෙන් හර්තාලය හා වැඩ වර්ජනය සාර්ථක කිරිමට දායකත්වය ලබාදුන්හ. හර්තාලය හා වර්ජනයේ සාර්ථකත්වය ඉදිරියේ රාජපක්ෂ ආණ්ඩුව දෙදරා අර්බුදයකට ගමන් කිරිම ආරම්භ වු අතර වර්ජන ව්‍යාපාරය මැයි 9 වන දින තීන්දුව සමග අඛණ්ඩව ඉදිරියට ගමන් කෙරින.

    19.  හර්තාලය හා වර්ජනය සාර්ථක ප්‍රථිපල පෙන්වමින් ක්‍රියාත්මක වන පසුබිම තුළ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සපයන වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය (TUCC) විසින් අනෙක් වෘත්තිය සමිති සමග කිසිදු සාකච්ජාවකින් තොරව වැඩ වර්ජන ක්‍රියාකාරිත්වය නවතා දැමීමට මැයි 11 වනදා තීන්දු කිරිම තීරණාත්මක පාවාදීමක් සනිටුහන් කළේය. මෙලෙස වැඩ වර්ජනය පාවාදීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවේ අධිරාජ්‍යවාදින්ගේ පිටු බලය සහිතව රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත්කරන පසුබිමක් තුළවීම බරපතල ලෙස සැලකිමට ගත යුතුය. අරගල භුමිය තුළ ජවිපෙය සිදුකල මෙම පාවාදිමේ ක්‍රියාව හේතු කොටගෙන මතුවු හිදැස ධනේෂ්වර ප්‍රතිගාමිත්වයට හිස එසවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය. එතැන් සිට ආරම්භවු පංති අරගලයේ පසුබැසීම මේ දක්වා ගමන් කරමින් පවතින අතර එයින් හිස එසවු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉතා සැලසුම් සහගත ලෙස අරගලකරුවන් මර්ධනය කිරිම සදහා වන දරුණු මර්ධනකාරී වැඩ පිළිවෙලක් ගෙන යමින් සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතද උපයෝගී කර ගනිමිනි.

     

    අරගලයේ ඉදිරි වර්ධනයන්

     

    20.  පොදුවේ ගත්කළ මාක්ස්වාදීන් වශයෙන් අප තේරුම් ගත යුත්තේ යටත් විජිත ලෝකය පුරාම විප්ලවය හා ප්‍රතිවිප්ලවය යන හැඩගැසීම් මෙම යුගයේදී එක්වර ක්‍රියාත්මකවන බවය. රටතුළ බරපතල විප්ලවකාරී ජනතා නැගිටීම් මාලාවකින් පසුව මේ වන විට ප්‍රතිවිප්ලවකාරී ක්‍රියාකාරිත්වයක් තහවුරු වෙමින් පවතී. අරගලකරුවන් හා වෘත්තිය සමිති නායකයින් පමණක් නොව දේශපාලන පක්ෂ දක්වා මර්ධනය ක්‍රියාත්මකවීම පෙනෙන්නට ඇත. විරෝධතාකරුවන්ට එරෙහි තිරස්චින මර්ධනයක් දියත්කර තිබෙන අතර මැයි 9 ගෝල්ෆේස් ප්‍රහාරය මෙහෙයවු අය වෙත වෙනම නිතියක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙම රාජ්‍ය මර්ධනය වසන්කර යටපත් කිරිම සදහා ඊනියා සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවක් පෙරට දමා ඇති අතර අප එය සහමුලින්ම ප්‍රතික්ෂේප කළයුතු වෙමු. කම්කරු පංතියට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරිම සදහා ධනේෂ්වරයේ ඊළග පියවර වනුයේ සර්වපාක්ෂික ආණ්ඩු ප්‍රෝඩාවයි. මෙම පසුබිම තුළ ඊනියා අන්තර්කාලීන ආණ්ඩුව හෝ සර්ව පාක්ෂික ආණ්ඩුව නමින් ගොඩනැගෙන ජනතා ද්‍රෝහී ආණ්ඩු උගුලට එරෙහිව කම්කරු පංතිය ඇතුලු පීඩිත ජනතාව පෙල ගැස්සවිම ප්‍රමාධ නොකළ යුතුව ඇත.

    21.  බ්‍රිතාන්‍යයෙන් ඊනියා නිදහස ලබාගෙන වසර 74ක කාලයකට පසුව ලාංකික සමාජය මුහුණ දෙන අතිශය දැවැන්ත ධනේෂ්වර අර්බුදයට අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ආර්ථික අර්බුදයක් ලෙස ආරම්භවූ අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් හරහා බහුවිධ අර්බුදයක් බවට පරිවර්තනයවී තිබේ. ලියෝන් ට්‍රොට්ස්කි නොනවතින විප්ලව න්‍යාය මගින් පැහැදිලි කලපරිදි ලංකාව වැනි තුන්වන ලෝකයේ යටත්විජිත රටවල ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරිමට දුබල ධනපති පාලකයින් අසමත්ය. නිදහස ලබාගත්දා සිට වරින්වර රට පාලනය කළ සිංහල ධනපති නායකයින් සිදු කලේ නැගී එන ජනතා අරගලයන් ලෙයින් නහවා මර්ධනය කිරිමය. 1971 තරුණ නැගිටීම හා 1988 -89 නැගිටීම පමණක් නොව 1980 වැඩ වර්ජනයද ඉතා කුරිරු අන්දමින් මර්ධනය කරනු ලැබිය 1980 – 2009 දක්වා උතුරේ තරුණයින් දෙමළ ජනතාවගේ අයිතින් දිනා ගැනිම සදහා ගෙනගිය ආයුධ සන්නද්ධ නැගිටීම ලේ ගංගාවක ගිල්වා මර්ධනය කිරිමේ ඉතිහාසයක් ලාංකිය ධනපතියන්ට ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදින්ගේ සෘජු ඒජන්තයෙකු වන රනිල් වික්‍රමසිංහ නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙල ක්‍රියාවට දැමිම සදහා ඉදිරිකාලයේදී ඕනෑම ආකාරයේ මර්ධනයක් ගෙනයෑමට සුදානම් බව මේ වන විට ප්‍රදර්ශණය කරමින් සිටී.

    22.  රනිල් වික්‍රමසිංහගේ විකෘති හා රූකඩ ජනාධිපතිධුරය ඇතුලුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාම මහජනතාවගේ අභිලාෂයන් නියෝජනය නොකරති. වත්මන් පාර්ලිමේන්තුව සහ ජනතාව අතර චීන මහා ප්‍රාකාරය තරම් පෑහිය නොහැකි පරතරයක් පවතී. ආණ්ඩු විරෝධී ජනතාවගේ එක් ඉල්ලිමක් වුයේ 225 දෙනාම ඉවත්විය යුතුය යන අදහසයග මේ වනවිට එම ඉල්ලීම් කණපිට හැරෙමින් පවතින අතර රනිල් වික්‍රමසිංහ ඇතුලු පාලකයින් පවතින පාර්ලිමේන්තුවේ ඉතුරු කාලය අවසාන වන තෙක් බලය පවත්වාගෙන යෑමේ ක්‍රියාමාර්ගයකට අවතීර්නවී ඇති බව පෙනේ.  ලබන වසර (2023) මුල පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්දය (ප්‍රාදේශීය සභ ඡන්දය) නොපැවැත්වීම සදහා රනිල් හා පොහොට්ටු පක්ෂය අතර ගිවිසුම් ගසාගෙන කටයුතු කරන බව පෙනේ. පොහොට්ටුවට මැතිවරණයකට මුහුණදීමට තිබෙන නොහැකියාව මෙයට ප්‍රධාන හේතුව වන අතර යම් ආකාරයේ මැතිවරණයක් පැවැත්වුවහොත් එයින් ආණ්ඩුවට බරපතල පරාජයක් අත්වනු ඇත. මෙම පසුබිම තුල සිමානිර්ණය කිරීමේ ගැටලු උපයෝගී කර ගනිමින් හෝ වෙනත් උපාය මාර්ගයකින් ඡන්ද කල් දැමීමට රනිල් පියවර ගනු ඇත. රනිල් උත්සාහ කරන්නේ  පිං ජනාධිපති වශයෙන් තමන්ට ලැබුණු ජනාධිපති ධුරයේ ඉතිරි වසර 2 1/2 කෙසේ හෝ පවත්වාගෙන යාමටය. එසේ වුවද පාර්ලිමේන්තු බලයක් මෙන්ම ජනතා බලයක්ද නොමැතිව කටයුතු කරන රනිල්ට ඉතිරි වසර 2 1/2 බලය පවත්වාගෙන යාමට හැකිවේද යන්න බොහෝදුරට සැක සහිතය. අරගලයෙන් ලබාගත හැකිව තිබු ජයග්‍රහනයන් ආපසු කැරකැවීමට ධනපති දේශපාලන තන්ත්‍රය සමත් වුයේ කෙසේද යන්න අප තේරුම් ගත යුතුය. වමේ පක්ෂ හා වෘත්තිය සමිති සංවිධාන සමග අවම එකගතාවයක් ගොඩනගා ගැනිමට ගෝල්ෆේස් අරගල භුමිය තුළ පැවති අසමත්භාවය මෙම තත්වය මතුවීමට කේන්ද්‍රීය සාධකයක් විය.

    23.  ජනතාව තුළ හා පාර්ලිමේන්තුව තුළ තමන්ට කිසිදු බලයක් නොමැති පසුබිම තුල රනිල් වික්‍රමසිංහට රාජපක්ෂවරුන්ගේ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය මත යැපීමට සිදුව තිබේ. බලයෙන් පහකරනු ලැබු රාජපක්ෂවරු රනිල්ව තමන්ගේ සීමාවන් තුළ පාලනය කර ගැනිම සදහා පාර්ලිමේන්තු බලය යොදා ගැනීිම ඔවුන්ගේ උපායවී ඇත. එපමණක් නොව රනිල්ට කටයුතු කිරිමට සිදුව තිබෙන්නේ ගෝඨාභය විසින් ගොඩනගන ලද හමුදා යාන්ත්‍රණය සමගවිම රනිල්ගේ පාලනය මුහුණදෙන තවත් අභියෝගයකි. ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනිම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම අනෙක් පැත්තෙන් චිනය සමග කේවල් කිරිමේ දුෂ්කර ගමනක් යෑමට රනිල්ට සිදු වන්නේ ඉහත සදහන් කළ අන්දමට රාජපක්ෂවරුන්ගේ මන්ත්‍රී බලය හා අනෙක් පැත්තෙන් ගෝඨාභයගේ හමුදා යාන්ත්‍රණය සමගවිම ඔහුගේ අනාගතය අවිනිශ්චිත භාවයකට පත් කිරීමට තවත් හේතුවක් වනු ඇත. මෙම පසුබිම තුළ රනිල් කටයුතු කිරිමට උත්සාහ ගන්නේ වඩ වඩාත් පොලීසිය හා හමුදාව මත පදනම් වූ කම්කරු පන්තිය ඇතුලු පොදු ජනතාව මත දරූණු ආකාරයේ භීෂණය හා මර්ධනයක් පතිත කරමින්ය. රනිල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හදුන්වමින් ඔහු කෙරෙහි විශ්වාසය පළකරමින් කටයුතු කළ ඊනියා වාමාශිකයින් හා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරින්ගේ දෙකොන පූට්ටුවී ඇත්තේ රනිල් තම සැබෑ මර්ධනකාරී මුහුණුවර පෙන්වමින් කටයුතු කිරිම තුලය.

    24.  වර්ධනය වෙමින් පවතින දැඩි රාජ්‍ය මර්ධනයට මුහුනදීම සදහා සටන්කාමී වෘත්තිය සමිති ඇතුලත් වන වාමාංශික හා සමාජවාදි පක්ෂ හා කණ්ඩායම් වල පුලුල් පෙරමුනක් ගොඩනැගීමේ අවශ්‍යතාවය දැඩිව ඉස්මතුව තිබේ. එක්සත් සමාජවාදි පක්ෂය මේ සදහා විවෘත ආරාධනයක් කරමින් එවැනි එක්සත් කමක් ගොඩනගා ගැනිම සදහා වන සාකච්ජාවක හා උත්සාහයක යෙදී සිටී. මාක්ස්වාදී හෝ සමාජවාදය වෙනුවෙන් පෙනි සිටින බව මතුපිටින් පෙන්නුම් කරන ජවිපෙ වැනි ව්‍යාජ මාක්ස්වාදි සංවිධාන මෙවැනි සැබෑ වාමාංශික බලවේගවල එක්සත්කමක් ගොඩනැගිමට විරුද්ධව කටයුතු කරනු ඇත. ඉදහිට මාක්ස්වාදී වචන භාවිතා කළද ජනතා විමුක්ති පෙරමුණට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව අපි දිගින් දිගටම පෙන්වා දී තිබේ. ජවිපෙය මේ වන විට මාක්ස්වාදී වෙස් මුහුණු ගලවා දමා තමන්ගේ සැබෑ පන්ති ස්වරූපය පෙන්වා ඇත. සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවාදී පක්ෂයක් බවත් දක්ෂිණාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් බව ක්‍රියාකාරිත්වය තුලින් ඔවුන් පෙන්නුම් කරමින් සිටී. මෙම බාධක බිද දමමින් මර්ධනයට මුහුණදිම සදහා වමේ එක්සත්කමක් ගෙඩනැගිමට කටයුතු කිරිමට පෙරට එන ලෙස අපි පෙරටුගාමි සමාජවාදි පක්ෂය වැනි සංවිධානවලට ආරාධනය කරමු. එසේ වුවද පෙරටුගාමි සමාජවාදි පක්ෂය එවැනි වමේ පෙරමුනක් ගොඩනැගිම පසෙකලා දෙමළ ජාතික සංධානය සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි දක්ෂිණාංශික පක්ෂ සමග සාකච්ජා පවත්වමින් ගෙනයන වැඩ පිළිවෙල අරගල භූමියේ නිරත සටන්කාමින්ට හා කම්කරු පංතිය නොමග යැවීමට හේතු වන අතර පංති අරගලයට නායකත්වය සැපයිම සදහා අත්‍යවශ්‍ය වන වමේ එක්සත් ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම නොසලකා කටයුතු කිරිම බරපතල ඛේදවාචකයකි.

    25.   කම්කරු පංතියේ වර්තමාන අර්බුදය වන්නේ නායකත්වයේ අර්බුදය බව ලියෝන් ට්‍රොට්ස්කි ඉතා පැහැදිලිව පෙන්වා දුන් ඉදිරි මග සාර්ථක කර ගැනිමේ අභියෝගයට මාක්ස්වාදීන් වන අපි මුහුණ දෙමින් සිටිමු. කම්කරු පංතිය පසුගිය මහා වැඩ වර්ජන ක්‍රියාදාමය තුල දැවැන්ත සටන්කාමී බවක් හා අධිෂ්ඨානයක් සහිතව කටයුතු කරන බව මැනවින් ප්‍රදර්ශනය කළේය. එසේ වුවද සමහර වෘත්තිය සමිති නායකයින්ගේ ඊනියා දේශපාලන පක්ෂ විරෝධි නිර්දේශපාලන ක්‍රියාමාර්ගය හා වෘත්තිය සමිති පටු සීමාවන්වලට හිරවී කටයුතු කිරිම ජනතා අරගලයට නායකත්වය සැපයිම සදහා විවෘත වු ඉඩකඩ අවහිර කර ගැනිමට හේතුවිය. රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ කම්කරු පංතිය හා ජනතාව බරපතල ලෙස තම ජීවිත ගෙනයාම පිළිබද ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත. එම තත්වය තුල රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය මර්ධනය නොතකා නුදුරු අනාගතයේදී කම්කරු පංතිය හා පීඩිත ජනතාව නැවත නැවතත් අරගල මාවතට පිවිසීම වැලැක්විය නොහැක. ගෝල්ෆේස් අරගලය හරහා ප්‍රචලිත වූ මහජන සභාව (කවුන්සිලය) ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනත්වයක් සහිතව ගොඩනැගීමට අප දායකවිය යුතු අතර මහජන කවුන්සිලය යන යෙදුම ගැන අපට වෙනම අදහසක් ඇත. විප්ලවකාරී ව්‍යවස්ථායක මණ්ඩලය යන්න වඩා නිවැරදි අදහස වන්නේය. මහජන සභාව රටපුරා සාර්ථකව ගොඩනගාගැනීම සදහා ඒ ඒ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණවලට විසදුම් ලබා ගන්නේ කෙසේද යන්න ගැන සංයුක්ත පිලිතුර සැපයිමට හැකිවිය යුතුය. වාමාංශික හා සමාජවාදී බලවේග සමග වෘත්තිය සමිතිවල සක්‍රිය නියෝජනයක් ලබාගැනීමද අත්‍යවශ්‍ය කරුණක් වන අතර මේ හරහා පුලුල් මහජන සහබාගීත්වයෙන් ඇතිකර ගැනීමට අරමුණු කරගත යුතුය.

    26.  ලංකාව මුහුන දෙන දැවැන්ත අර්බුදයට විසදුම් සැපයිමට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අසමත් වන බව මේ වන විටත් පැහැදිලිවෙමින් ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ආර්ථික අර්බුදයට විසදුම් ඉදිරිපත් කිරිමක් සිදු නොවන අතර දේශීය සම්පත් සියල්ල විකුණා දැමීම රාජ්‍ය අංශය කප්පාදු කිරිම හා පීඩිත ජනතාව මත තව තවත් බදු බර පැටවිමට වැනි දේවල් ඔවුන් යෝජනා කරනු ඇත. මෙම අර්බුදයට මුහුණදිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලකට පැමිනීමට පසුගාමී දුර්වල ධනපති පංතියට හැකියාවක් නැත. සජිත්ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නියෝජනය කරනුයේ පසුගාමී සිංහල බෞද්ධ බහුතර මතවාදයයි. අනෙක් පසින් රනිල් අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයෙක් ලෙස නව ලිබරල්වාදයට කරගසා සිටි. මෙම පසුබිම තුල ලංකාවේ ඉදිරි අනාගතය ඉතාම සංකීර්ණ හා අවිනිෂ්චිත තත්වයක පවති. මෙම වසර අවසානය හෝ 2023 ආරම්භය වන විට ආර්ථික අර්බුදය තවත් උග්‍රවී ඉන්ධන අර්බුදයට විසදුම් දිය නොහැකි තත්වයක් උද්ගතව ගමනා ගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල විය හැකිය. පැය 12කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරිමේ තත්වයක් උද්ගතවිය හැකිය. මේ සමග දූ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙනයා නොහැකි පසුබිමක පාසැල් වැසීයා හැකිය. මෙයට අමතරව උග්‍ර ආහාර අර්බුදයක් උදාවිය හැකිය. දිගට ඇදී යන රුසියානු හා යුක්රේන යුද්ධය නිසා මෙම අර්බුදය තවත් තීව්‍ර කරනු ඇත.

    27.  ගෝල්ෆේස් අරගලයේ පළමුවටය එක්තරා නිමාවකට පත්වෙමින් තිබෙන අතර අරගලයේ දෙවන වටය නිර්මාණය වන්නේ පසුගිය අරගලයේ අත්දැකීම් උකහා ගත් වඩා වර්ධනයවූ අරගලයක් වශයෙනි. එහිදී කම්කරු පංතියේ මැදිහත්වීම් තීරණාත්මක සාධකයක් වනුඇත. අරගලය විසින් ආගම්වාදය ජාතිවාදය ඇතුලු වෙනත් මාදිලියේ බෙදිම් පසුපසට ඇද දැමිමට සමත්වුවද එම බලවේග සහමුලින්ම පරාජය කිරිමට අසමත්වු බව තේරුම්ගත යුතුය. මෙවන් පසුබිමක ඉදිරි කාලයේදී ජනතා අරගල මතුවිම වැලැක්විය නොහැකිය. ඊට මුහුණදීම සදහා රාජ්‍ය මර්ධනය දියත් කිරිම රනිල් ඇතුලු ධනපති පාලකයින්ගේ එකම ක්‍රියාව බවට පත්වනු ඇත. එසේ නමුත් දැවැන්ත ජනතා නැගිටිමක් ඉදිරියේ රාජ්‍ය මර්ධනය හා හමුදා බලය අසරණවී පසුබසින ආකාරය මැයි ජුනි හා ජුලි වල පැවති ජනතා අරගලවලින් පෙන්නුම් කෙරිනග මෙවැනි පසුබිමක මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයක් එයට නායකත්වය සැපයිම සදහා ගොඩනැගි නොතිබුනද බහුජන අරගලයන් පුපුරා එලියට ඒම වැලැක්විය නොහැකිය. අපගේ වගකිම මෙම තත්වයට මුහුණදිය හැකි කේඩර් ගත විප්ලවවාදී පක්ෂය ගොඩනැගිමට කටයුතු කිරිමය. විප්ලවවාදී පක්ෂයේ ඉදිරි දර්ශණයන් හා ක්‍රියාමාර්ග ඓතිහාසික සිදුවිම් මගින් නිරීක්ෂණය කරනු ලබන බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු.

    28.  පසුගිය මාස කිපය තුළ ලංකාවේ දකුණු ප්‍රදේශ සියල්ල වෙලා ගනිමින් මතුවු ජන අරගලයට උතුරේ දෙමළ ජනතාවගේ මැදිහත්වීම නාමික ක්‍රියාකාරී තත්වයට පමණක් සිමාවු බව පෙන්නුම් කෙරින. දෙමළ ජාතික සන්ධානය වැනි සාම්ප්‍රදායික දෙමළ ධනපති නායකයින් දෙමළ ජනතාවගේ ඉල්ලිම් ජය ගැනිම වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකර එකී ජනතාව ඉන්දීය ධනපති පාලකයින් හා යුරෝපීය ධනපති නායකයින් වන්දනාවේ ගෙන යමින් සිටී. සම්බන්දන් හා විග්නේෂ්වරන් වැනි නායකයින් රනිල් වික්‍රමසිංහගේ කිහිලිකරුවන් බවට පත්ව ජාතික ප්‍රශ්නයට විසදුම්  ලබාගතහැකිය යන භයානක රැවටිල්ලකට දෙමළ ජනතාව ගෙන යාම සදහා අසාර්ථක උත්සාහයක යෙදි සිටී. මේ වනවිට උතුරේ දෙමළ ජනතාව නායකයින්ගේ අවස්ථාවාදී හැසිරීම් ගැන උවමනාවටත් වඩා අත්දැකීම් ලබාගෙන ඇත. එම පරිසරය තුල දෙමළ ජනතාව නායකත්වයක් නොමැති දේශපාලන භුමියක අතරමංවී ඇති බව ප්‍රකාශ කළහැකිය. උතුරේ පවතින ජන විඥානය මෙලෙස නිර්වචනය කිරිම එම තත්වය අතිශයෝක්තියට නැගිමක් නොවේ. වතුකරයේ ජීවත් වන දෙමළ වතු කම්කරුවන්ගේ තත්වයට මෙයට දෙවැනි නොවේ වතු කම්කරුවන්ට දෛනික රුපියල් 1000/- වැටුප් වැඩිවීම ලබා ගැනීමට තවමත් නොහැකිවී ඇත. වතු ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන භුමිතෙල් මිල නොබෝදා අධික ලෙස ඉහල දැමිම ඇතුලු ඉහල යන ජීවන වියදම සමග වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 2000/-ක් වත් විය යුතුය. කදුකරයේ ජීවත්වන වතු කම්කරුවන්ගේ ජාතික අභිලාෂයන් ඇතුලු ඉල්ලීම් ජය ගැනීම සදහා කදුකරයේ දෙමළ ජනතාව වෘත්තිය සමිති භේද නොතකා එක් පෙරමුණක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ යුතුය.

    29.  එක්සත් සමාජවාදි පක්ෂය ආරම්භයේ සිටම දෙමළ කතාකරන දෙමළ හා මුස්ලිම් ජනතාවගේ විමුක්තියේ අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව දකුනේ සිංහල ජාතිවාදයට එරෙහිව ඉතා දුෂ්කර කාලපරිච්ජේදයක් පැවති පසුබිම තුළ ක්‍රියාකිරිමේ ඉතිහාසයක් ඇත. සිංහල ස්වොත්තමවාදයට විරුද්ධව පෙනි සිටිමින් අඛණ්ඩව දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනි සිටින එකම පක්ෂය එක්සත් සමාජවාදි පක්ෂයයි. දෙමළ ජාතික ප්‍රශ්නයට අර්බුදයට ගොස් සිටින ධනපති පංතියෙන් විසදුමක් නොලැබෙන බවත් ජාතික ප්‍රශ්නයට විසදුම් ලබා ගැනිම සදහා උතුරේ ජනතාව දකුණේ කම්කරු පංතිය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග සමග එක්ස්ව කටයුතු කර ධනපති ක්‍රමය පෙරලා දැමිම එයට තිබෙන එකම පිළිතුර වන්නේය. උතුරේ දෙමළ ජනතාවට තනිවම සටන් කර ජාතික විමුක්තිය හා නිදහස ලබාගත නොහැකිවා සේම දකුණේ සිංහල ජනතාවගේ ප්‍රශ්ණවලට තනිව සටන්කිරිමෙන් විසදා ගත නොහැකි බව පසුගිය ඉතිහාසය පෙන්නුම් කර ඇත. පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඉතා සැලසුම් සහගතව මුස්ලිම් ආගමික විරෝධයක් ගොඩනගා දර්ගා නගරය අම්පාර හා දිගන යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාව මත විශාල මර්ධනකාරී වැඩ පිළිවෙලක් ගෙනයන ලදී. කෙසේවුවද අර්බුදයේ ගිලි පවතින ධනපති පක්ෂ ඉදිරි කාලයේදී නැවත වරක් දෙමළ හා සිංහල ජනතාව ජාතිවාදි වර්ගවාදි ගැටුම් වලට ඇද දැමීමට තිබෙන හැකියාව ගැන අප අවධියෙන් සිටිය යුතුව ඇත. රාජපක්ෂවරුන් විසින් පෝෂණය කරන ලද විසකුරු සිංහල බෞද්ධ ජාතිවාදය තාවකාලිකව යටපත්ව ඇති නමුත් ජාතිවාදය සම්පූර්ණයෙන් පරාජයට පත්වී නොමැති බව අවධාරණය විය යුතුය. මෙම තත්වයට මුහුණදිම සදහා උතුරේ දෙමළ ජනතාවද නැගෙනහිර මුස්ලිම් ජනතාව හා කදුකරයේ වතුකම්කරු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් ඒකාබද්ධ උද්ඝෝෂණ සංවිධානය කිරීම සදහා පුලුල් වේදිකාවක් නිර්මාණය කිරිම සදහා අප යොමුවිය යුතුව ඇත.

    30.  වර්තමානයේ ලංකාව මුහුණ දෙන ගැඹුරු අර්බුදයට විසදුම් සදහා වන ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින් අප්‍රේල් මැයි ජුනි ජුලි අරගල මතුවිමට මත්තෙන් පසුගිය මාර්තු මාසයේදී එසපය විසින් වැඩ පිළිවෙලක් එළි දක්වනු ලැබීය. රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට විසදුමක් වශයෙන් ඇමරිකාව ඉන්දියාව චීනය ජපානය වැනි රටවලට ගෙවිමට තිබෙන විදේශ ණය වහාම අහෝසි කිරිම සදහා පියවර ගතයුතු බවට යෝජනා කළ එකම පක්ෂය එසපය වන්නේය. එම ඉල්ලිම් මාලාව තුලින් අප පෙන්නුම් කරනු ලැබුවේ ලංකාව මුහුණ දෙන අර්බුදයට ධනපති ක්‍රමය තුල විසදුම් ලබාගත නොහැකි බවය. අර්බුදයට විසදුම් ලබාදිම සදහා සමාජවාදි විකල්පයක් ගෙඩනැගිය යුතු බව අප එහි ඉතා දැඩිව අවධාරණය කළෙමු. මෙහිදී සමාජවාදීන්ට එක්වර දෙආකාර මැදිහත්විමක් සිදු කිරිමට සිදුවනු ඇත. මෙම ද්විත්ව ක්‍රියාකාරීත්වය නිවැරදි තුලනයක් සහිතව පවත්වාගෙන යාම වැදගත්ය. පලල්ව සමාජය තුල පවතින දුර්වල දේශපාලන විඥානය තේරුම් ගනිමින් මැදිහත්විය යුතු අතරම අනෙක් පැත්තෙන් අපගේ වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග බාල්දු කිරිමට ඉඩ නොදෙමින් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිම අත්‍යවශ්‍යවේ.  එසේම එම සමාජවාදි අරගලය ජය ගැනිම සදහා අසල්වැසි දකුණු ආසියාවේ ඉන්දියාව පකිස්ථානය බංගලාදේශය වැනි රටවල කම්කරු පංතිය හා පීඩිත ජනතාවගේ සහයෝගය ලබාගැනිමේ අනිවාර්ය අවශ්‍යතාවයද පෙන්නුම් කරන ලදී. අපගේ ක්‍රියාමාර්ගය වන්නේ දකුණු ආසියානු කලාපයේ එක්සත් සමාජවාදී සමුහආණ්ඩුවක් උදෙසා සටන් වැඳීමය. කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ (CWI) ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ග හා බද්ධ වෙමින් එක්සත් සමාජවාදි පක්ෂය ජාත්‍යන්තර සමාජවාදි විප්ලවයේ කොටස්කරුවන් ලෙස කටයුතු කරන අප ආසියානු උප මහද්විපයේ සමාජවාදි විප්ලවය ගොඩනැගිමේ අභියෝගය ජයගැනිම සදහා කටයුතු කරමින් සිටි.

     

     

     

     

     

     

     

     

     

     

     

  • “වම සහ ජීවිතය“ සිරිතුංග ජයසූරියගේ නවතම කෘතිය…

    “වම සහ ජීවිතය“ සිරිතුංග ජයසූරියගේ නවතම කෘතිය…

     

    හැඳින්වීම

    මගේ ජීවිතය හා බැඳී පවතින දේශපාලන සිදුවීම් ඇතුළත් කරුණු ඒකරාශි කර පොතක් සම්පාදනය කරන මෙන් මගේ සමීප මිතුරන් හා දේශපාලනයේ නියැලී සිටි සහෝදරවරුන් නිතර මා වෙත ඉල්ලීම් කරනු ලැබීය. මෙය එහි ප්‍රතිඵලයකි. මෙය මාගේ ජීවිත කතාව අලලා ලියන ලද එකක් නොවන අතර මගේ දේශපාලන ගමන් මඟ ආරම්භ වුයේ කෙසේද යන්න සඳහා පසුබිම් වූ පුද්ගලික තොරතුරු පමණක් මෙහි ඇතුළත් කර ඇත. 1965 සිට මේ වසර වන විට 55 වසරක දේශපාලන ජීවිතයක් මා ගත කර ඇති අතර 2010 වසර පමණ දක්වා වූ කාලය දක්වා මතක සටහන් මෙහි ඇතුළත්ය.

    මෙය මා ලිවීම ආරම්භ කළේ 2020 වසරේ කොරෝනා වසංගත ආරම්භ වීම සමඟ අප්‍රේල් මැයි මාසවල ආරම්භ වූ රට වසා තැබීමේ අලුත් අත්දැකීම සමඟය. දේශපාලන පූර්ණකාලීනයකු වශයෙන් දිනපතා පක්ෂ කාර්යාල මූලික කරගෙන කටයුතු කිරීමට හුරු පුරුදු වී සිටි මට හුදකලාව නිහඬ වී නිකරුණේ කාලය ගත කිරීම මහත් ගැටලුවක් විය. මෙම සටහන් ලිවීම ආරම්භ වුණේ එලෙසිනි. නැවත රට විවෘත වීමත් සමඟ මෙම සටහන ලියා අවසන් කිරීම පසුපසට වැටී සුපුරුදු පරිදි එදිනෙදා දේශපාලන කටයුතුවල නිරත වීමට සිදුවිය. නැවත 2021 වසරේ මැයි මාසයේදී සංචරණ සීමා පැනවීම සමඟ මෙහි කටයුතු අවසන් කිරීම සඳහා යළි ගත් උත්සාහයකි.

    මෙම පොත වම ගැන සඳහන් වුවද එය සමස්ත වමේ ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියන ලද්දක් නොවේ. අප රටේ වමේ ව්‍යාපාරය ආරම්භ වන්නේ 1935 ලංකා සමසමාජ පක්ෂය බිහි කිරීමෙනි. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක ප්‍රකාශනවල ජාත්‍යන්තරවාදය පදනම් වූ සමාජවාදය ගොඩනැඟීම ගැන සඳහන්ව තිබුණ ද සමසමාජ පක්ෂය බොල්ෂෙවික් සම්ප්‍රදාය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් නොවීය. සමසමාජ පක්ෂයේ පළමු බෙදීම ආරම්භ වූයේ ජාත්‍යන්තර දේශපාලනය ගැන වීම මෙහිලා විශේෂයෙන් අවධාරණය විය යුතුය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න ද මෙම විවාදයට පාදක විය. ස්ටැලින්ගේ නායකත්වයෙන් තුන්වන ජාත්‍යන්තරය මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂ එකී රටවල අධිරාජ්‍යවාදී ආණ්ඩුවලට සහයෝගය පළ කිරීමේ පිළිවෙතක් අනුගමනය කළහ. මෙයට සමගාමීව සෝවියට් දේශය හා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාර්ශ්වය සහයෝගය දැක්වීමට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ගනු ලැබූ ස්ථාවරය සමඟ ඔවුන් අධිරාජ්‍ය විරෝධි අරගලයෙන් ඈත් විය.

    තුන්වන ජාත්‍යන්තරයේ පිරිහීම ගැන සමසමාජ පක්ෂ අභ්‍යන්තරයේ විවාදය උග්‍ර තත්ත්වයකට පත්වීම සමඟ 1939 දෙසැම්බර් මස ලෙස්ලි ගුණවර්ධන විසින් පහත සඳහන් යෝජනාව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

    “පළමුවන කම්කරු රාජ්‍ය වන සෝවියට් සංගමය වෙත අප පක්ෂය සිය සහයෝගය පළ කරන අතරම ජාත්‍යන්තර විප්ලවකාරී කම්කරු පන්ති ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට තුන්වන ජාත්‍යන්තරය අපොහොසත් වී ඇති හෙයින්, ජාත්‍යන්තරය කෙරෙහි සමසමාජ පක්ෂයේ විශ්වාසයක් නොමැත්තේය.” (ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසය – ලෙස්ලි ගුණවර්ධන)

    ලෙස්ලිගේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර පස් දෙනෙක් විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ එස්. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මෙන්ඩිස්, කේ. රාමනාදන්, ඩබ්ලිව් ආරියරත්න සහ ගුණසේකර යන අය ටික දිනකින් සමසමාජ පක්ෂයෙන් නෙරපනු ලැබීය. වමේ ව්‍යාපාරයේ බෙදීම් සිදු නොවිය යුත්තකි. එසේ වුව ද හුදු දේශීය සීමාවලින් ඔබ්බට ගොස් ජාත්‍යන්තරවාදී වර්ධනයන් ගැන ඇතිවූ මෙම බෙදීම ඵෙතිහාසික වශයෙන් වැදගත්ය.

    අනතුරුව වෙනත් සංවිධාන නම්වලින් ටික කලක් කටයුතු කළ වික්‍රමසිංහ, මෙන්ඩිස් සහෝදරවරු ඇතුළු කණ්ඩායම ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහි කළහ. ලංකාවේ වමේ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ගුරු කුළ දෙකක් මත එනම් ට්‍රොට්ස්කිවාදය හා ස්ටැන්ලිවාදය යනුවෙන් කටයුතු ආරම්භ කෙරුණේ ඒ අනුවය. මෙම ගුරුකුල දෙකින් මා අයත් වනුයේ ට්‍රොට්ස්කිවාදී සමසමාජ ගුරුකුලයට වීම නිසා මෙම පොතේ සඳහන් බොහොමයක් කරුණු හා අත්දැකීම් එම ව්‍යාපාරයට සම්බන්ධ ඒවාය. එම හේතුව නිසාම මෙම පොත ඒක පාර්ශ්වීය අත්දැකීම් සටහන් කරන්නක් ලෙස මතුවීම වැළැක්විය නොහැකි විය. ඒ ගැන මම සමාව අයද සිටිමි. පසු කාලීනව බිහි වූ නව සමසමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ නැමති වමේ පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම් මෙම ප්‍රධාන ගුරුකුල දෙක හරහා බිහි වූ දේශපාලන පක්ෂයන්ය.

     

    සිරිතුංග ජයසූරිය

  • බ්‍රසීල ජනාධිපතිවරණය තියුණු සටනකින් ලූලා ජයගනී…

    බ්‍රසීල ජනාධිපතිවරණය තියුණු සටනකින් ලූලා ජයගනී…

    බ්‍රසීලයේ මෙතෙක් පැවති තියුණුම ජනාධිපතිවරනයේදී, අන්ත දක්ෂිනාංශික අපේක්ෂකයා වූ Jair Bolsonaro, (බොල්සොනාරෝ) කම්කරු පක්ෂයේ (PT) ප්‍රවීණ අපේක්ෂකයා වූ Luiz Inácio da Silva විසින්, (ලූලා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින), පරාජයට පත් කිරීමට සමත් විය. 50.9%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ලූලා ජයග්‍රහණය කරා ළඟා විය. බොල්සොනාරෝ මිලියන 57 ක් ලබා ගත් අතර ලූලා ඡන්ද මිලියන 59 ක් ලබා ගත්තේය. බ්‍රසීලය දැන් ඉතා ධ්‍රැවීකරණය වූ සහ බෙදුණු සමාජයක් වන අතර ලූලා ජයග්‍රහණය කළද, බ්‍රසීලයේ ජන අරගලය අවසන් වී නැත.

    අන්ත දක්ෂිනාංශික ප්‍රතිගාමී ජනතාවාදියා දෙවන වර නැවත බලයට පත් වීම ගැන බියෙන් සිටි මිලියන ගණනක් බ්‍රසීල ජනතාව බොල්සොනාරෝගේ පරාජය වීදි බැස සමරන ලදී. ඔහුගේ ආණ්ඩුවේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක හමුවේ ඡන්ද ප්‍රතිඵලයේ පටු බව බොහෝ දෙනා කම්පනයට පත් කර ඇත. කොවිඩ් වසංගතය ප්‍රතික්ෂේප කරන්නෙකු වන බොල්සොනාරෝගේ පාලන කාලය අතරතුර බ්‍රසීලයේ මරණ 900,000 ක් සිදුවීය. මෙයට අමතරව මිලියන ගනනක් දරිද්‍රතාවයට තල්ලු කර දමා ඇති අතර ජනතාවගේ ජීවන තත්වයන් බරපතල ලෙස පහත වැටී ඇත. කුරිරු වර්ගවාදය, සමලිංගික භීතිකාව සහ ස්ත්‍රී ද්‍රෝහීකම ඔහුගේ පාලන තන්ත්‍රයේ ප්‍රධාන ලක්ෂණයන් වූ අතර, ඔහු දැව ජාවාරම්කාරයින් සහ විශාල ඉඩම් හිමියන් සමඟ එක්ව ලෝක උරුමයක් වන ඇමසන් වැසි වනාන්තරයේ විශාල ප්‍රදේශ විනාශ කිරීම සිදු කලේය.

    ඒ අතරම ඔහුගේ ජනප්‍රියවාදය හරහා බ්‍රසීලියානු මධ්‍යම පන්තියේ සහ නාගරික දුප්පතුන්ගේ කොටස් අතර සහය දිනා ගැනීමට සමත් වූ අතර, ප්‍රචණ්ඩත්වය සහ අපරාධ පිළිබඳ බොහෝ දෙනාගේ බිය පෙන්නුම් කරන ලදි. “පවුල, දේශප්‍රේමය සහ ආගම” යන සටන් පාඨය යටතේ සමාජයේ ප්‍රතිගාමී කොටස් වෙත බොල්සොනාරෝ විසින් කරන ලැබු ආයාචනයක් සමග, සමහර ඇස්තමේන්තු වලට අනුව, බ්‍රසීල ජනතාවගෙන් තුනෙන් එකක් දක්වා එවැන්ජලිස්ත පල්ලිවලට බොහෝ දෙනා ඇදී ගොස් ඇත. මේ අතර බ්‍රසීල ජනගහනයෙන් බහුතරයක් බොල්සොනාරෝ නෙරපා හැරීම සඳහා ලූලාට සහාය දැක්වීමට පෙළ ගැසී සිටියහ. කෙසේ වෙතත්, බොහෝ දෙනා එසේ කළේ පසුගිය කාලයේ පැවති ලූලාගේ ආණ්ඩුවේ වාර්තා වල ක්‍රියාකලාපය නිසා දැඩි සැකයකින් යුතුව ය. 2003 දී ප්‍රථම වරට ජනාධිපතිධූරයට තේරී පත් වූ ලූලා වාර දෙකක් සඳහා ජනාධිපති විය. ඔහුගේ ජනාධිපති ධූරය යටතේ යම් ආකාරයක සමාජ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඔහුට හැකි විය. එමගින් මිලියන ගණනකට විශ්ව විද්‍යාල විවෘත කරන ලද අතර, විශේෂයෙන් කලින් බැහැර කර තිබූ කළු තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාල අවකාශය හිමිවිය.

    ලූලා නැවත පැමිණීම

    පුළුල් සමාජ සුබසාධන වැඩසටහනක් වන ‘‘Bolsa Familia“ නැමැති වැඩ සටහන සමග සමාජයේ දුප්පත්ම අයට මූල්‍ය ආධාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. ලූලා ඔහුගේ දෙවන ධුර කාලයෙන් පසු ධූරයෙන් ඉවත් වන විට ඔහු 80%ක ප්‍රතිශතයක් සම්මත ශේණිගත කිරීම අනුව ජනප්‍රියතාවය හිමිව තිබුණි. මෙම ප්‍රතිසංස්කරන සමග පුද්ගලීකරනය හා විශ්‍රාම වැටුප් ක්‍රමයට එල්ල කරන ප්‍රහාරයන් ද සිදු වූ අතර, එය PT පක්ෂය වෙතින් වාමාංශික කොටස් ඉවත්ව සමාජවාදය සහ ලිබර්ටි පක්ෂය (PSOL) නමින් අලුත් පක්ෂයක් පිහිටුවීමට තුඩු දුන්නේය. භාණ්ඩ මිලෙහි උත්පාතයක් පැවතීම සමග එවකට වර්ධනය වෙමින් පැවති චීන ආර්ථිකයට අපනයනය හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ ගනනාවක් ද එකල සිදු විය.

    කෙසේ වෙතත්, ලූලාගෙන් පසුව 2014 දී තේරී පත් වූ ඔහු විසින් පත් කරන ලද අනුප්‍රාප්තිකයා වන Dilma Rousseff ට දරුණු අවපාතයකට මෙන්ම හාත්පසින්ම වෙනස් ආර්ථික හා ලෝක තත්වයකට මුහුණ දීමට සිදු විය. බ්‍රසීල ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටී විරැකියාව ඉහළ ගියේය. ඒ සමගම අතිවිශාල මුදල් වංචාවක් සම්බන්ධ දූෂණ වලට PT පක්ෂය පැටලී සිටියේය. දක්ෂිණාංශික විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුත් දූෂණය පිළිබඳ විමර්ශනයක් විසින් ලූලාට චෝදනා එල්ල කරන ලද අතර ඔහු ඉන් වැරදි කරුවකු බවට පත්ව දූෂණය සම්බන්ධයෙන් කාලයක් සිරගත කරන ලදී. පසුව ඔහු නිදහස් කරන ලද අතර සියලු චෝදනාවලින් නිදහස් විය. කෙසේ වෙතත්, ලුලාගේ නායකත්වයෙන් පැවැති පීටී පක්ෂය දූෂණයෙන් පිරී තිබුණු එකක් විය. පීටී සහ අනෙකුත් පක්ෂ සහ දේශපාලකයන් අතර පවතින දූෂණයේ දුර්ගන්ධය තවමත් එලෙසම පවතී. මෙම තත්වය බොල්සොනාරෝ සහ ඔහුගේ ආධාරකරුවන් විසින් ලුලාට එරෙහිව මැතිවරණ ව්‍යාපාරයේ දී තමන්ගේ දූෂිත ක්‍රියාවන් නොතකා උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා ලදී.

    ධනවාදයෙන් බිඳී යාමට ‘වම’ හා PT පක්ෂය අසමත් වීම හේතු කොට ගෙන බලගතු දක්ෂිනාංශික ප්‍රතිගාමී බලවේගයක් ගොඩනැගීමට බොල්සොනාරෝට ඉඩ සලසන ලදී. ලූලා යටතේ වෙනිසියුලාවේ වැනි “සමාජවාදී බලයක්” බිහි වනු ඇති බවට අනතුරු අඟවමින් ඔවුහු වෙනිසියුලාවේ පැවති ව්‍යසනකාරී තත්ත්වය ද ඡන්ද ව්‍යාපාරයේදී උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්හ. ධනවාදයෙන් බිඳී යාමට අසමත් වීම සහ එක්සත් ජනපදයේ සම්බාධක වලට මුහුණ දීම සිදු වීම සමග වෙනිසියුලාවේ හියුගෝ චාවේස් යටතේ ඉහල සිට පහල දක්වා නිලධරවාදී පාලනයක් බිහි විය. ඉන් පසුව නිකොලස් මදුරෝ යටතේ ද, ඇති වූ ආර්ථික හා සමාජ ව්‍යසනය ද, බොල්සොනාරොගේ දක්ෂිනාංශයට ආයුධයක් ලබා දෙන ලදි. ඒ හරහා සමස්ථ ලතින් ඇමරිකාව තුල වමට සහ සමාජවාදයට නැඹුරු වීමට එරෙහි විශාල ප්‍රචාරයක් ගෙන යාමට පසු බිම සකස් කර දුන්හ.

    ඒ සමගම, බ්‍රසීලයේ, PT පක්ෂය වෙතින් බෙදී ගිය වාමවාදී  PSOL පක්ෂය රට පුරා කම්කරු පන්තිය හා දුගීන් අතර ශක්තිමත් පදනමක් සහිත මහජන විකල්පයක් ගොඩනැගීමට අසමත් වීමද කැපී පෙනුනි. PSOL මෙම මැතිවරණයේදී පළමු වටයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අසමත් වූ අතර ඒ හරහා ඔවුන් බෙදීම්වලට ලක් විය. ඒ අතර තමන් ධනවාදය ආරක්ෂා කරන පුද්ගලයෙක් බව ඔප්පු කිරීමට ලූලා විශාල උත්සාහයක් දරණු ලැබීය. ඔහු පෙර මැතිවරණවලදී ලූලාට එරෙහිව නැගී සිටි දක්ෂිනාංශික ජෙරල්ඩෝ ඇල්ක්මින් සමඟ සභාගයක් පවා පිහිටුවා ගැනීම දක්වා ගමන් කලේය. නමුත් ඔහුට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ එය නොවේ. ලූලාගේ ජයග්‍රහණයේ පදනම වූයේ බොල්සොනාරෝ කෙරෙහි ඇති ජනතා වෛරය නිසා ඔහුව ඉවත් කිරීමට කටයුතු කළ මිලියන ගණනකගේ විරෝධය උග්‍ර ස්ථානයකට පත්වීම නිසාය.

    බ්‍රසීලයේ ප්‍රධාන ධනේශ්වර කණ්ඩායම් වලින් බහුතරයක් සහ බොල්සොනාරෝට එරෙහිව විවිධ ජාත්‍යන්තර බලවේග ලූලාට සහය දක්වන ලදි. බොල්සොනාරෝ 2018 දී ජයග්‍රහණය කරන විට ද ඔවුන් කිසි විටෙක ඔහුට පිටුබලය දුන්නේ නැත. එම අවස්ථාවෙහිදී, සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ PT  පක්ෂය කෙරෙහි සහයෝගය සහ විශ්වසනීයත්වය බිඳ වැටීමකට ලක්ව තිබුණි.

    මැතිවරණයට පෙර බොල්සොනාරෝ අමරිකාවේ ට්‍රම්ප් අනුගමනය කිරීමට උත්සාහ ගත් අතර මැතිවරණ ප්‍රතිඵලය පවා පිළිගැනීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි මුලදි පෙනෙන්නට තිබුණි. ඔහුට හමුදාව තුළ ශක්තිමත් පදනමක් තිබූ අතර ඔහුගේ ආධාරකරුවන්ට සන්නද්ධ වීමට පහසු වන පරිදි තුවක්කු භාවිතා කිරීමේ පාලනය ලිහිල් කර තිබුණි. ඔහු තම ධනපති කඳවුර සහ හමුදාවේ කොටස් බලමුලු ගන්වා යම් ආකාරයක කුමන්ත්‍රණයක් හරහා බලයේ එල්ලී සිටීමට උත්සාහ කළේ නම් එය සිවිල් යුද්ධයක් සමඟ සමාජ පිපිරීමක් හා සන්නද්ධ ගැටුමක් දක්වා තත්වය අවුලුවාලිය හැකිව තිබුණි.

    මෙම ලිපිය ලියන මොහොත වන විට හමුදාව සහ ඔහුට සහාය දක්වන අනෙකුත් දේශපාලන නායකයින් එවැනි හමුදාමය ක්‍රියාවලින් පසුබැස ඇත්තේ එයින් ගලා එන ප්‍රතිවිපාකවලට බියෙන් බව පෙනේ. එවැනි පියවරක් ධනවාදයට ඉතා භයානක වනු ඇති බව ඔවුන් තේරුම් ගෙන සිටී. එවැනි ගැටුමකින් පසු ලූලා බලයට පත් වූයේ නම් ජනතාව රැඩිකල්කරණයට ලක් වී ආන්ඩුවෙන් තවත් ඉදිරියට ගොස් ධනවාදයේ පැවැත්ම අවම කළ හැකි රැඩිකල් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීමට ඉඩ තිබුණි. 2023 ජනවාරියේ දී ලූලා බලයට පත්වීම වැලැක්වීම සඳහා බොල්සොනාරෝ ගෙන යන මූලික උත්සාහයේදී මෙය වෙනස් විය හැකිය. කම්කරු පන්තියට සහ වමට බොල්සොනාරෝ බලයේ සිටීමට උත්සාහ නොකිරීම මත හෝ ලූලාගේ ධනේශ්වර ගැති සන්ධානයේ දේශපාලන නායකයින් මත විශ්වාසය තැබිය නොහැක. කෙසේ වුවද බොල්සොනාරෝ හෝ ඔහුගේ ආධාරකරුවන් බලයේ එල්ලී සිටීම උත්සාහ කලහොත් එය වැළැක්වීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට මහජනතාව බලමුලු ගැන්වීමක් සංවිධානය කළ යුතුය.

    ලූලා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළද බොල්සොනාරෝගේ ආධාරකරුවන් තවමත් බ්‍රසීලයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන සාඕ පවුලෝ පාලනය කරයි. එහිදී බොල්සොනාරෝගේ හිටපු යටිතල පහසුකම් අමාත්‍යවරයා වූ ටාර්සියෝ ගෝමස් ආණ්ඩුකාරවරයා පත් කිරීමේ තරඟයෙන් ජයග්‍රහණය කළේය. කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බලය බොල්සොනාරෝගේ දක්ෂිණාංශික පක්ෂය සතුව පවතී. එහි ලූලාට ඇත්තේ 25% ක් වන සුලු කොටසක් පමණකි.

    මීළඟ ලූලා ආන්ඩුවට ඔහුගේ පළමු ධුර කාල දෙකේ ලැබූ සහය නොලැබෙනු ඇත. PT සහ දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂවල සභාගය අතර, තව දුරටත් බෙදීම් විවෘත වනු නිසැකය. එපමනක් නොව ලූලා බලයට පැමිණෙන්නේ ඔහු මුලින්ම තේරී පත් වූ කාලයේ මෙන් සාපේක්ෂව හිතකර ආර්ථික තත්වයන් යටතේ නොවේ. බ්‍රසීලය තමන්ගේම අවපාතයකට මෙන්ම ගෝලීය අවපාතයකටද උද්ධමන අර්බුදයකට සහ ඉහළ පොලී අනුපාතවලට මුහුන දෙයි. ලූලා ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: “බ්‍රසීලියානුවන් මිලියන 215ක් සඳහා ආණ්ඩුවක් කරන්න කියා ඉල්ලා සිටින්නේ මට ඡන්දය දුන් අය පමණක් නොවේ. අපි එකම ජනතාවක් එකම රටක් එකම ශේෂ්ඨ ජාතියක්”. නමුත් ලූලා පවසන පරිදි බ්‍රසීලය එක රටක් නොවේ, එය එක් ජනතාවක් නොවේ, එය සමාජීය වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද බෙහෙවින් ධ්‍රැවීකරණය වී ඇති රටකි. ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “අපට තවදුරටත් සටන් කිරීමට අවශ්‍ය නැත. අනෙකා සතුරා ලෙස දැකීමෙන් අපට එපා වී ඇත.” බොල්සොනාරෝගේ දක්ෂිනාංශය වර්ධනය වන අරගල දෙස බලන්නේ එලෙස නොවේ.

    ‘ආරක්ෂිත අත් යුගල’

    ධනවාදයේ පැවැත්ම සඳහා ඔහු ආරක්ෂිත අත් යුගලයක් බව ධනවාදයට සහතික කිරීමට ඔහු දරන උත්සාහය ධනපති පන්තියේ කොටස් තෘප්තිමත් නොකරනු ඇත. එක් ප්‍රමුඛ පෙලේ බැංකුකරුවෙකු ඉතා දැනුවත්ව මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි: “බොල්සොනාරෝ බලයට ඒම නැවැත්වීම සඳහා අපි ලූලා තේරී පත් කරන්නෙමු. ඊට පසු එයාගේ ආණ්ඩුවේ පළමු දවසේම අපි විපක්ෂයට යනවා.” බොල්සොනාරෝ යටතේ අසීමිතව සිදුවෙමින් පැවති ඇමසන් වැසි වනාන්තරයේ විනාශය ලූලා විසින් නැවැත්වීමට හෝ අඩු කිරීමට ඉඩ ඇත. එහෙත් ඔහුගේ සභාග ආණ්ඩුව ස්ථාවර නොවන අතර බෙදීම් විවෘත වන විට ආණ්ඩුව අර්බුදයට යනු ඇත. ඔහුගේ පසුගිය ආණ්ඩු සමයේ ලූලා හඳුන්වා දුන් සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ අලුත් අපේක්ෂාවක් එයට නැති බව ඉතා පැහැදිලිය.

    මැතිවරනයෙන් පසුව, බොල්සොනාරෝගේ ප්‍රතිගාමී බලවේග සහ පාලක පන්තිය සමග බ්‍රසීලයේ නව සටනක් විවෘත වනු ඇත. PT පක්ෂය මේ වන විට ධනවාදය සමඟ විවාහ වී දූෂණයෙන් පිරී ඇත. මෙම පසුබිම තුල කම්කරු පන්තිය සහ ධනවාදය විසින් සූරාකෑමට ලක්වන සියල්ලන් නුදුරු කාලයේදී වේගයෙන් දිගහැරෙන පංති අරගලය සඳහා සූදානම් විය යුතුය. මෙම අරගලයේ ප්‍රධාන කොටසක් වන්නේ ඉඩම් හිමිකමෙන් හා ධනවාදයෙන් බිඳී, සමාජවාදී ඉදිරි මාවතක් ගොඩනැගීමට කටයුතු කිරීමය. බොල්සොනාරෝගේ ප්‍රතිගාමී දක්ෂිනාංශික ජනතාවාදය සහ එය පදනම් වූ ධනේශ්වර ක්‍රමය සහමුලින්ම පරාජය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ජයග්‍රහණය කිරීම සඳහා කම්කරු පන්තියේ බහුජන පක්ෂයක් ගොඩනැගීමට කටයුතු කිරීම බ්‍රසීල ජනතාවගේ ප්‍රමුඛ කාර්ය වියයුතුය.

  • නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද?

    නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද?

    නව ලිබරල් ව්යාපෘතියට එරෙහි විකල්පය කුමක්ද? කෘතිය එළිදැක්වීම ඊයේ 22දා මරදානේ CSR ශාලාවේදී සිදුකෙරිනි.
    එහිදී පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ, ශ්රීනාත් පෙරේරා සහෝදරවරැන් දෙසුම් පැවැත්වූහ.
    ධම්මිකා සිල්වා සහෝදරිය විසින් මෙහෙයවන ලද මේ රැස්වීමේ ආරම්භක හැඳින්වීම කරන ලද්දේ සිරිතුංග ජයසූරිය සහෝදරයා විසිනි.