Category: Ratutharuwa

Ratutharuwa Magazine

  • වතු කම්කරුවන්ට  ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

    වතු කම්කරුවන්ට ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

    කඳුකර දෙමළ වතු කම්කරු ජනයා මෙරටට පැමිණි මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසු ගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි සංවත්සරය වතු පාලකයින් විසින් උත්සවාකාරයෙන් පැවැත්විණි. ඒ උත්සව සංවිධායකයින් අපූරු තරගයක් සංවිධානය කර තිබුණි. ඒ විනාඩි කිහිපයක් තුළ වැඩිපුරම තේ දළු නෙලන කම්කරු කත සෙවීමයි. තෝරාගත් තැනැත්තියට රුපියල් ලක්ෂයක මුදලක් ද ප්‍රදානය කර තිබිණි. මේ තරගය හා අදාළ දිනය මෙම ලේඛකයාට පෙනෙන්නේ අටෝරාශියක ප්‍රශ්න ගණනාවකින් ශතවර්ශ දෙකක් පීඩාවිදින ජන කොටසක ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට පාර කපා ගැනීමට හැකිව තිබූ දිනයක් යළි වතාවක් සුපුරුදු වහල් මෙහෙය කල්පවත්වාගැනීමට යොදාගත් උත්ප්‍රාසාත්මක අංගයක් හා තවත් දිනයක් ලෙසය.
    එමෙන්ම එහි සංඥාව වූයේ මීළග ශතවර්ශයේදීත් වතු ජනයාට ආවේණික වහල් මෙහෙය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට වතු හාම්පුතුන්ට වුවමනා අතර වතු ශ්‍රමිකයාගේ ගැටළු නොවිසදී ඒ ආකාරයෙන් ම පවතිනු ඇත යන්නයි. මේ ප්‍රශ්න අතර ශතවර්ශ දෙකක් ගෙවී ගියත් නොවිසදී ඇති විසදෙනු ඇතැයි සේයාවකදු නැති ප්‍රශ්න අතර දිවයින පුරා විසිර සිටින වතු ජනයාගෙන් බහුතර දෙනෙකුට තමන්ට අනන්‍ය වූ ස්ථිර ලිපිනයක් නැතිවීම හදුනාගැනීමට හැකිය.

    වතුකරයේ ජනයා අපගෙන් වෙන්වුනු වෙනම ප්‍රජාවක් නොවේ. 1960දී මෙරට සිටි වතු කම්කරුවන් 40 කට පුරවැසිභාවය ද ඡන්ද අයිතිය ද ලැබිණි. ඉතිරි වූ පිරිසෙන් කොටසක් ඉන්දියාවට නැවත බලහත්කාරයෙන් පිටත් කළ අතර 1990 වනවිට මෙරට සිටි සියලුදෙනාට පුරවැසිභාවය ලැබිණි. එනම් අනෙකුත් පුරවැසියන් හා සමාන අයිතිවාසිකම් වලට හිමිකම් ලබති. ඉංග්‍රීසින් මෙරට පාලනය කළ කාලයේදී බදුල්ල, නාවලපිටිය, හැටන්, රත්නපුර, හපුතලේ, රක්වාන, හා මොනරාගල ප්‍රදේශවල වතු නිර්මාණය කළහ. වතු ජනතාව මෙරට සිංහල ජනයා සමග එකතු වෙනවාට අකමැති වූ සුදු පාලකයන් මෙරට තැපැල් සේවය වතු ජනයාට ලබා නොදුන්නේය. චෙන්නායි හරහා වතු ජනයාට තැපැල් සේවය සැපයිනි. 1948 වසරේදී ඉන්දීය සම්භවයක් ඇති වතුකම්කරුවන්ට පුරවැසිභාවය ලැබීමෙන් පසුද ලංකාවේ තැපැල් සේවයද වතු ජනයා සමග සම්බන්ධ නොවිණි. අදට එය එසේම ය. ලංකාවේ 4691ක් වන මුළු තැපැල් ස්ථානවලින් 10න් එකකටත් වඩා අඩු ප්‍රතිශතයකි වතු ආශ්‍රිතව ස්ථානගත කර තිබෙන්නේ.

    ඇඩ්‍රස් නැත

    කතුවරයා මේ ලිපියේ මාතෘකාවට යෙදූ පරිදි “ඇඩ්‍රස් නෑ” යන යෙදුම සාමාන්‍ය ජන සමාජයේ භාවිතවන්නේ ව්‍යංගාර්ථයක් දනවමිනි. එහි මතුපිට අර්ථය “ස්ථිර ලිපිනයක් නැත” යන්නයි. යම් හේතු නිසා “ජීවිතය අවුල් වීම” ඊට අදාළ ව්‍යංගාර්ථයයි. වතුකර ජනයාගෙන් බහුතරයකට අදටත් ස්ථිර ලිපිනයක් නැත. ඒ නිසාම ඒ අයගේ ජීවිත අවුලෙන් අවුලට පත්ව තිබේ. ස්ථිර ලිපිනයක් ඇති අපිට නොදැනෙන ජීවිතයේ විවිධ ඉස්ව්වලට මේ ප්‍රශ්නය බලපා තිබේ. ඒසේම එක් ප්‍රදේශයකට සීමා නොවුනු ලංකාව පුරා විසිරුණු වතු ආශ්‍රිත මිනිසුන් මේ ප්‍රශ්නයෙන් දුක් විදින්නෝය. පහතින් දක්වන්නේ උදාහරණ කිහිපයක් පමණි.

    රාජේන්ද්‍රන් රකීමා මාතර බොගකොට වතුයායේ ජීවත් වේ. ඔහුට ස්ථිර ලිපිනයක් නැත. ඔහුගේ රජයේ රැකියාව අහිමිවන්නේ සම්මුඛ පරීක්ෂණයට කැදවන ලද ලිපිය නිසි වේලාවට නොලැබීම නිසා ය. මනිවනන් සගාන් පස්සර මදොව වතුයාය පහළ කොටසේ ජීවත් වේ. ස්ථිර ලිපිනයක් නොමැති නිසා ඔහුට ලැබිය යුතු ලිපි ප්‍රදේශයේ ඔහුගේම නම ඇති වෙනත් පුද්ගලයන් අතට පත් වේ. ඇතැම් ලිපි ලැබෙන්නේ ප්‍රමාව වී වන අතර සමහර වැදගත් ලිපි ලේඛන ඔහුගේ අතට ලැබෙන්නේ ම නැත. පෙරියසාමි පුෂ්පරාණි ගාල්ල පිටිගලවත්තු යායේ ජීවත් වන්නීය. තමන්ට හිමි ETF,EPF අයිතිවාසිකම් ලබාගැනීමට ඇය නඩුවක් පවරා තිබේ. නඩුව මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ස්ථිර ලිපිනයක් නොමතිකම හා නඩු ලේඛන නියමිත දිනට ලබා ගෙන පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම නිසයි. සෙල්වරාජා නිරෝෂා දිල්හානි උඩුගම ඔමදොල්ළුව වත්තේ ජීවත් වන්නීය. ඇය උකසට තැබූ ආභරණ සියල්ල සින්න වී තිබෙන්නේ උකස බේරාගැනීම දන්වන ලිපි ඇයට නොලැබුණු නිසාය. ගාල්ල ඉන්දෙණිය වත්තේ වෙසෙන සුබ්‍රමනියම් සිරීට ගුරු පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණය මගහැරෙන්නේත් ඒ හේතුවෙන් ම බලාපොරොත්තු තබාගෙන සිටි රැකියා අවස්ථාව මගහැරෙන්නේත් නිශ්චිත ලිපිනයක් නොමැතිකම නිසයි.

    අප සියල්ලන්ම උත්සහ කරන්නේ ගෞරවාන්විත හා සුවපහසු ජීවිතයක්- මෙම ජීවිතය ගත කිරීමට සිවිල් සේවය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සම්න්ධ වීම අවශ්‍ය ය. මේ සදහා අවම වශයෙන් පාසල් අධ්‍යාපනය ලැබීම, නිදහස් සෞඛ්‍ය සේවයල ජල-විදුලිය, ඡන්ද අයිතිය, ජාතික හැදුනුම්පත (කෙනෙකුගේ අනන්‍යතාවය), යම් සහනාධාර යන මේ සියල්ල ස්ථිර ලිපිනය හා සම්බන්ධ වේ. ඒ අරුතින් ස්ථිර ලිපිනය යනු අප ජීවත් වන නිශ්චිත ස්ථානය රජයට තහවුරු කිරීමයි. එමගින් පුද්ගලික ජීවිතයට අදාළ රජයේ ලිඛිත ලේඛන (ඡන්ද පත්‍රිකා, වරිපනම් වැනි) අප අතට ලබා ගැනීමයි. ඒ තුළින් අප රජයේ සේවය පුද්ගලික ජීවිතවලට ලබාගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහභාගී වේ. එහෙත් වතුකරයේ ජනතාවට ස්ථිර ලිපිනයක් නැති නම්?

    සුරේෂ් කුමාර්ගේ උත්සහය

    ජීවරත්නම් සුරේෂ් කුමාර් මාවතගම මුවන්කන්ද වතුයායේ ජීවත් වන තරුණයෙකි. ස්ථිර පදිංචි ලිපිනයක් නැත්තෙකි. සුරේෂ් ද ඇතුළුව මේ වතුයායේ පවුල් 300ක් පමණ ජීවත් වේ. මේ කිසිකෙනෙකුට නිශ්චිත ලිපිනයක් නැති අතර කිසිදු ලිපියක් පෞද්ගලිකව නොලැබේ. ලිපි ලැබෙන්නේ “මුවන්කන්ද වත්ත” යන පොදු ලිපිනයටය. ස්ථිර ලිපිනයක් නොමැතිකම නිසා ම ඉහතින් දැක්වූ ප්‍රශ්න රාශියකට මැදිව සුරේෂ්ද ඇතුළු මුවන්කන්ද වතුවාසීන් ජීවත ගෙවයි. මුවන්කන්ද ගම්මානයට ලිපි ලබාගන්නේ අසීරු මාර්ගයක් පසුකිරීමෙන් පසුයි. තමන්ගේ වතුයායට අයත් ලිපි සියල්ල මාවතගම තැපැල් ස්ථානයට ලැබෙන බවත් ඉන්පසුව ඒ ලිපි සියල්ල මුවන්කන්ද උප තැපැල් කාර්යාලයට ලැබෙන බවත් ඉන්පසුව වතු අධිකාරීවරයා විසින් විවිධ පුද්ගලයන් මගින් ලිපි මේ වැසියන්ට ලැබෙන්නට සළස්වන බවත් සුරේෂ් කියා සිටියේය. මේ අතරවාරයේ වැදගත් ලිපි නොලැබීම් හා ලිපි ලැබීම ප්‍රමාද වීම සුලභ බව පෙන්වාදුන්නේය.

    තමන්ට හා සිය වතුයායේ මිනිසුන්ට ස්ථිර ලිපිනයක් ලබා ගැනීමේ අරමුණින් පසුගිය මාර්තු 7වැනිදා සුරේෂ් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 2017 ජූනි 17 දින මේ කරුණ සම්බන්ධව සුරේෂ් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ. 2019 මාර්තු 25 එහි මූලික විමර්ශනය සිදු කළ අතර එහි විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

    2019 අප්‍රේල් 3 වැනි දින අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් මුවන්කන්ද වතුයායට ස්ථිර ලියාපදිංචි ලිපින ලබාගැනීමට ඇති හැකියාව ගැන තොරතුරු ඉල්ලා සිටියේය. ඒ අනුව මේ වනතෙක් කිසිදු ප්‍රායෝගික වැඩසටහනක් නැති බව සුරේෂ් ලද තොරතුරයි. මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමේදී එම නිළධාරීන් ස්ථිර ලියාපදිංචිය ලබාදීම තම විෂය පථයට අයත් නොවන බව දන්වා සිටියේය. ඊට අමතරව සුරේෂ් කුමාර් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් මතු කර තිබෙන මූලික කාරණයක් වන්නේ තම වතුයායට ආසන්න මීතැන්වල, කැටවල, ගොන්ගාල්දෙණිය හා පරාපේ ආශ්‍රිත වතුවාසීන්ට ස්ථිර ලිපින ලබාදෙමින් තමන්ගේ සමාන්මතාවයේ අයිතිවාසිකම රාජ්‍ය නිළධාරීන් විසින් කඩ කර තිබීමයි.
    සුරේෂ් පෞද්ගලිකව උත්සහ කරන්නේ තමන්ට, මුවන්කන්ද වතුයායට පමණක් නොව ලංකාව පුරාම විසිරී තිබෙන වතු ගම්මාන ආශ්‍රිත පොදු ප්‍රශ්නයක් සාර්ථක අවසානයක් කරා රැගෙන යාමටය. මෙම උත්සහය තීරණාත්මක අවසානයක් කර ගෙනයාමෙන් ඇඩ්‍රස් නැති ජනකොටසක් ජීවිත අවුලෙන් අවුලට පත්වීම නවතිනු ඇත. ඒ සදහා වතුජනයා පොදුවේ පෙළ ගැසීම වැදගත් ය. වතුකරයේ පවතින වෘත්තීය සමිති සියල්ල වතුකරයේ ජනතාව මුහුණ දෙන මෙම මූලික මිනිස් අයිතිවාසීකම වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම වෘත්තීය සමිති නායකයින්ගේ වංචනික ක්‍රියාකලාපය තේරුම් ගත හැකිය.

  • රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ

    රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ
    සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරීවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික්‍රමසිංහ 2001දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ මාවතේ නොගිහින් ඛඔඔෑ සංවිධානය සමග සටන් විරාමයකට එළඹීම, සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම වැනි යම් ඉදිරිගාමී පියවර කීපයක් ඔහු ගත්තද අගමැති ධුරය දැරූ දෙවසරක කාලය තුළ. 2004දි චන්ද්‍රිකාගේ බලය යලි තහවුරු වීම සහ 2005දි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම සමග ඒ අධිකාරීවාදී ගමන යළි ඇරඹුනා. විශේෂයෙන්ම 2005 – 2014 අතර පැවති රාජපක්ෂ පාලන සමය මේ රටේ ජනතාවගේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළේ බලවත් තර්ජනයක්.

    මේ තත්ත්වයට එරෙහිව රටේ ජනසමාජයේ විරෝධයක් මෝදු වෙමින් ඇවිල්ල 2015දි එය උතුරා ගියා. ඒ තමයි යහපාලන ප්‍රොජෙක්ට් එකේ ජයග්‍රහණය. ඒ ව්‍යාපෘතියේ අයිතිකරු රනිල් වික්‍රමසිංහ. යහපාලනය ටදදා ටදඩැරබ්බජැ කියන්නෙ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් පාලන ක්‍රමයක්. ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය පිටුදැක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කිරීමයි රනිල්ගෙ යහපාලන ව්‍යාපෘතියෙ මූලිකාංගය වුනේ. ඉතින් රනිල් වික්‍රමසිංහ තමයි එදා ප්‍රජාතන්ත්‍රවාදයේ චැම්පියන් වුනේ.

    විශේෂයෙන්ම ඒ කාලයේ මහින්ද ගෝඨාභය දෙබෑයන්ගෙ සුදුවෑන් මාෆියාව නිසා රාජපක්ෂවාදීන් නොවන සියළු දෙනාටම විශාල තර්ජනයක් එල්ලවෙලා තිබුණෙ. විවේචනාත්මක අදහස් පළ කරන මාධ්‍යවේදීන් තමයි ඍජු ඉලක්කය වෙලා තිබුණෙ. මහින්ද රාජපක්ෂ බලයට පත්වෙලා වසර දෙකයි මාස තුනක් ඉක්ම යන්නට පෙර එවකට රටේ හිටිය ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග මහ දවල් ඝාතනය කෙරෙනවා. මේ ඝාතනය කොයිතරම් රට එහෙම නැත්නම් රාජපක්ෂ විරෝධී කොටස් කම්පනයට පත්කළාද කිව්වොත් නිදහස අගය කරන සියළු කොටස් එක ගොනුවකට ආයුතු බවට සමාජ මතයක් ගොඩනැගුනා. ඒ නිසා තමයි ”‍නිදහසේ වේදිකාව”‍ ගොඩනැගුනෙ. රනිල් වික්‍රමසිංහ එහි කේන්ද්‍රීය චරිතයක් වුනා.

    මේ නිදාන කතාව කිව්වෙ දැන් ජනාධිපති ධුරයට අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහගේ වත්මන් කතාවට පසුබිමක් සපයාගන්න. 2015 දක්වා මේ රටේ හිටපු මහා ප්‍රජාතන්ත්‍රවාදියා දැන් අඳින්නෙ හිට්ලර්ට බව කවුරුත් දන්නව. ගිය අවුරුද්දෙ ජූලි 22දා පාර්ලිමේන්තුවේ 134ක ඔළුගෙඩි ගණනින් මේ ධුරයට පත්වුනා මිසක කිසිදු ජනවරමක් නැති රනිල් දැන් වැඩකරන්නෙ ඒකටම හරියන විදියට බව පැහැදිලියිනෙ. ගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීකමටවත් නුසුදුසු බවට ජනයා විසින් තීන්දු කරනු ලැබීම නිසා ජනතාවගෙන් පලිගන්න ආකාරයකටයි ඔහු දැන් වැඩකරන බව පේන්නෙ.

    ඔහු ජනාධිපති ධුරයට පත්වෙලා පැය 24ක් ගතවෙන්නටත් කලින් ගාලු‍මුවදොර ජනාධිපති කාර්‍යාලය අසල සිටි අරගලකරුවන්ට මහ රෑ අමානුෂික ලෙස පහරදුන්න. එයින් පස්සෙ ඔහුගේ පාලනයේ දුර්දාන්ත ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කරපු කොටස් විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය නිරන්තරයෙන්ම මර්දනය කළා. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා දින 167ක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්න ක්‍රියා කළේ ඉතාම නිර්ලජ්ජිත විදියට. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසන්ත නිදහස් කරමින් දුන් නියෝගයේ සඳහන් ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබාගැනීමට තබා අත් අඩංගුවට ගැනීමටවත් කරුණු නොතිබියදී තමයි රනිල් වික්‍රමසිංහ ආරක්ෂක ඇමති හැටියට ඔහුව දින 90ක් රඳවා තබාගැනීම සඳහා නියෝගයට අත්සන් කළේ. ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පලිගන්නත්, වසන්ත මුදලිගේ බිල්ලට ගන්නටත් රනිල් වික්‍රමසිංහ මොනතරම් පල්ලෙහාට බැස්සද කියල මෙයින් පෙන්නුම් කෙරෙනව.

    මේ විදියට තමා කලක් පැළඳ සිටි ලිබරල් වෙස් මුහුණ ගලවල හිට්ලර්ගෙ ඇඳුම් අඳින්න රනිල් දැන් නොපැකිලව ඉදිරිපත් වී සිටින්නෙ ඔහුගේ නව ලිබරල්වාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට එසේ නැතිව බැරි නිසා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අණ පරිදි ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්න නම් මේ වෙලාවෙ මැතිවරණයක් පැවැත්වීම අතිශය හානිකරයි. මොකද රනිල් වික්‍රමසිංහ සහ ඔහු පයගසා සිටින පොහොට්ටු කණ්ඩායම මැතිවරණයෙන් පරදින්නෙ ආයිත් ගොඩගන්න බැරි විදියට. ඒ නිසා තමයි රනිල් කියන්නෙ ”‍ආර්ථිකය ගොඩදාල නීතිය සහ සාමය ක්අ ්බා දරාැර තහවුරු කරල ලබන අවුරුද්දෙ ඔබට ඡන්දය පාවිච්චි කරන්න දෙන්නම්”‍ කියල. එයාගෙ න්‍යාය පත්‍රය අනුව මේ වසරෙදි මේ වනවිට නියමිතව තියෙන පලාත් පාලන මැතිවරණය තියෙන්නෙ නැහැ.

    එතකොට මේ රටේ ජනතාවට මැතිවරණ ලැබෙන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීරණය කරන දවසට. එයා බලයට පත්වූ අවස්ථාවෙ බොහොම ඉහළින් හුවාදැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ස්වාධීන මැතිවරණ කොමිසම් වැඩක් නැහැ. මට ඕන වෙලාවට මට වාසි වෙලාවටයි මැතිවරණ තියෙන්නෙ ඒ නිසා උඹල කට වහගෙන කර බාගෙන ඉඳපල්ල කියල මේ පිං ජනාධිපතිවරයා කියන කතාව අහගෙන පිනක් දහමක් කරගෙන ඉන්නයි පොදු ජනයාට සිද්ද වෙන්නෙ.

    ලෝකයේ බලය රහ වැටුනු සියළු නායකයො හිතන්නෙ ඒ විදියට තමයි. පහුගිය අවුරුද්දෙ පෙබරවාරි 1දා බලය ඩැහැගත්ත මියන්මාරයේ හමුදා පාලකයන් ඒ වෙලාවෙ කිව්වෙ වසරක් ඇතුළත මැතිවරණ පවත්වනව කියල. දැන් වසර? ඉකුත් වෙලා මාසයකුත් ගතවෙලත් මැතිවරණ පවත්වනවා තබා ඒ ගැන කිසිදු කතාවක්වත් නැහැ. පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ තරම් ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තියෙද්දි පවා රනිල් වික්‍රමසිංහ මේ මාස ගණනාවටම මැතිවරණයක් ගැන කිව්ව පළවැනි වතාව මේකයි. රටේ ලෝකෙ සිදුවන හැම දෙයක් ගැනම කතා කරන රනිල් මෙච්චර කාලයක් මැතිවරණයක් ගැන වචනයක්වත් කතා කළේ නැහැ. මෙතනදිත් ඡන්දය කියල පොදුවේ කතා කළා මිසක් මේ පලාත් පාලන මැතිවරණය ගැන නිශ්චිතව කිව්වෙ නැහැ. එහෙම නොකිව්වෙ මේ පිං ජනාධිපතිට මේ මැතිවරණය මේ අවස්ථාවෙ තියෙන්නෙ නැහැ කියල කෙලින් කියන්න තරම් කොන්දක් නැති නිසයි.

    මේ රටේ ජනයා මැතිවරණයක් ඉල්ලල රනිල්ට පිංසෙන්ඩු වෙන්නෙ නැහැ කවදාවත්. මොකද මේ ජනාධිපතිවරයයි මියන්මාරයේ හමුදා පාලකයයි අතර තියෙන්නෙ සියුම් වෙනසක්. මියන්මාරයේ හමුදා පාලකය හමුදා යොදවල මහජන ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුවක් පෙරළා දමා දැන් හමුදා තන්ත්‍රය මත පදනම් වී පාලනය ගෙනයන්නෙ. අපේ රටේදි වුනේ ජනතාව විසින් අධම දුර්දාන්ත පාලනය ජන බලයෙන් පලවා හැරි පසු ජනතාවගේ මතය නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස තෝරා පත්කරගත් පාලකයෙක් හමුදා තන්ත්‍රය මත පදනම් වී පාලනය ගෙනයාමයි. ඒ නිසා රනිල්ගෙන් ඡන්ද ඉල්ලන්නෙ නැහැ අපි. අප, පොදු ජනයා ඉල්ලන්නෙ උන්ගෙම ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි මැතිවරණයයි. දැන් වනවිට කල්දමා වසරක් ගතවී ඇති මේ පළාත් පාලන මැතිවරණය ජනයාගේ අයිතියක්. උන්ගේ ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි බව කියන පරමාධිපත්‍යයේ අංගයක් ඡන්ද බලය. ඒ නිසා නිසි කලට පැවැත්විය යුතු මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙන් තමයි මහජනයා පරමාධිපත්‍යය භුක්ති විඳින්නේ. රනිල් වික්‍රමසිංහ දැන් හදන්නෙ ජනතා පරමාධිපත්‍යය කියන එක උගෙ අත පල්ලෙන් වැටෙන දෙයක් බවට පත්කරන්න. ඔහුගේ ඒ අපේක්ෂාවට මෙරට ජනතාව කිසි විටෙකත් අවනත නොවන බව නිසැකවම කියන්න පුළුවන්.

    මේ තුළින් අප තේරුම් ගන්න ඕන කාරණය තමයි රනිල් වික්‍රමසිංහගෙන් ජනතා අයිතියට මේ එල්ල වී ඇති තර්ජනය හුදෙක් මේ අවස්ථාවට සීමා වූ හෝ ඔහුට විතරක් ආවේනික වූ එකක් නොවන බවයි. ආර්ථික වශයෙන් බංකොලොත් වී උන්ගේ සමස්ත ක්‍රමයම අභියෝගයට ලක්වී ඇති මේ අවස්ථාව රනිල් වැනි උග්‍ර ධනේශ්වර නායකයන් සලකන්නෙ ාද දර ාසැ අවස්ථාවක් හැටියට. ඒ කියන්නෙ ජන කොටසක් හෝ සමාජ තීරුවක් විනාශ කරල හෝ තමාට ඕන කරන දේ කළයුතුයි කියන එක. උග්‍ර දක්ෂිණාංශිකයෙක් වන රනිල් වික්‍රමසිංහ ලෝක ධනේශ්වරයේ මේ කලාපයේම නියෝජිතයායි. ඒ නිසා මේ කලාපයේ ධනේශ්වරයේ ග්‍රහණය සහ ආධිපත්‍යය තහවුරු කිරීම තමයි මේ මොහොතේ ඔහුගේ අවශ්‍යතාව. ඒ වෙනුවෙන් ධනේශ්වර සාරධර්ම සහ වටිනාකම් බිල්ලට දිය යුතු නම් රනිල් එයටත් සූදානම්. ඔහුට අනුව මේ එළඹිලා තියෙන්නෙ එවන් මොහොතක්. ඒත් රනිල් වික්‍රමසිංහගේ මේ ව්‍යාපෘතියට අනුගත නොවන බවත් එයට එරෙහිව සටන් කරන බවත් මේ රටේ කම්කරු පංතිය ප්‍රමුඛ ජනයා පසුගිය දින කීපය තුළදි මැනවින් පෙන්නුම් කරල තියෙනවා.

  • ජවිපෙ හා ජාජබ කොයිබටද?

    ජවිපෙ හා ජාජබ කොයිබටද?

    ”Go Home Gota” යන සටන් පාඨය පෙරදැරි කරගෙන පසුගිය වසරේ අප්‍රේල් සිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වූ අරගලය ජුලි මස වන විට මුලු රටම වෙලාගත් දැවැන්ත ජනතා නැගිටීමක් කරා මර්ධනය වී ගෝඨාභය ජනාධිපතිධූරයෙන් එළවා දමනු ලැබීය. පසුගිය වසරේ ඇතිවූ මෙම ජනතා නැගිටීම ලංකාවේ පැවති දේශපාලන රටාවන් වෙනස් කිරීමට භාජනය කරනු ලැබීය. ඒ අතර ප්‍රධාන වූයේ සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්‍ෂ සියල්ල බිඳවැටීමකට ලක් වීමයි. මෙම හේතුව නිසා පොහොට්ටු පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් නොව උතුරේ හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ පවා ඉතිහාසයේ විශාලම අර්බුදයකට මුහුණ දෙමින් සිටී. මෙම පරිසරය තුළ පාර්ලිමේන්තුවේ මු`ඵ මන්ත්‍රි සංඛ්‍යාව වන 225 එපා යන සටන් පාඨය ජනතාව අතර පොදු සටන් පාඨයක් බවට පත් විය. අරගලයෙන් මතු වූ දේශපාලන හිදැස පිරවීම සඳහා දියුණු කම්කරු පංතිය හා තරුණයින් දේශපාලන වශයෙන් නව මාවත් ගැන සොයා බලන තැනකට පත්වීමද පෙනෙන්නට තිබේ.

    එසේ වුවද සාම්ප්‍රදායික ධනපති දේශපාලන පක්‍ෂ කෙරෙහි කළ කිරි සිටින එහෙත් මැතිවරණ දේශපාලනය ගැන තවමත් බලාපොරොත්තු තබා සිටින අති මහත් බහුතර ජනතාව එම පක්‍ෂ වලින් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය – මාලිමාව) දෙසට විශාල වශයෙන් යොමු වීම ආරම්භ වී ඇති බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතා කෙටි කාලයක් තුළ සැළකිය යුතු ජනතා බලවේගයක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත්තේ ඒ නිසාය. ජවිපෙය දෙසට නාගරික මධ්‍යම පංතියේ හා කලාකරුවන් අතුරින් සැළකිය යුතු කොටසක් ආකර්ශණය වීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජවිපෙ ආරම්භක වාමවාදී දේශපාලන ප්‍රතිපත්ති අත්හැර දැමීම හෝ යටපත් කර දැමීම නිසාය. ඉතා පැහැදිලිව කිවහොත් ජවිපෙය හුදු සටන්පාඨයක් ලෙස හෝ ඉතිහාසය පුරා ප්‍රදර්ශණය කරනු ලැබු සමාජවාදය යන්න සම්පූර්ණයෙන්ම තම න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය. ජවිපෙය විසින් සමාජවාදය අත් හැර දැමුවා පමණක් නොව වමේ ව්‍යාපාරයට උරුම වූ රතු කමිසය හා රතු පාටද ගලවා දමනු ලැබීමෙන් ඔවුන් කෙතරම් වේගයෙන් ධනපති දේශපාලනය දෙසට ගමන් කර ඇත්ද යන්න තේරුම් ගත හැකිය. ජවිපෙ ප්‍රධාන පෙළේ නායකයෙකු වන බිමල් රත්නායක විසින් අනිද්දා පුවත් සමග කළ සාකච්ඡාවේදී මෙසේ සඳහන් කර ඇත.

    “දැන් සමාජය තුළ සමාජවාදයක් සඳහා සමාජ විලිරුදාවක් නැහැ. දැන් තියෙන්නෙ ධනපති ප්‍රතිසංස්කරණයකින් තීන්ත ටිකක් ගාලා මේ වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයලා දෙන්න කියන එක. රට වැටිලා තියෙන වලේ හැටියට ඒක පවා නරක දෙයක් නොවෙයි.” (2018.09.09. අනිද්දා පුවත් පත)

    ආරම්භයේ සිට තරුණයින් රැවටීම සඳහා යොදා ගත් සමාජවාදී සමාජයක් ගොඩනගන බවට පෙන්වන ලද ප්‍රතිරූපය ජවිපෙය විසින් අත්හැර දමා ඇති බව පසුගිය මස ස්වාධීන බුද්ධිමතුන් පිරිසක් සමග අනුර කුමාර දිසානායක කරන ලද සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් මේ බව වඩා තහවුරුවේ. සාකච්ඡාවේ සිටි මාධ්‍යවේදීන් පිටමං කිරීමෙන් අනතුරුව සාකච්ඡා කළ පිරිසගේ ජංගම දුරකථන පවා අක්‍රිය කිරීමෙන් පසු ලංකාවේ ධනපති පංතියක් නොමැති බවත්, එබැවින් ධනපති ක්‍රමය දුෂණයෙන් තොරව පවත්වා ගෙන යාම ඔවුන්ගේ වැඩ පිළිවෙල බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත. ක්‍රමානුකූලව තවත් පාර්ලිමේන්තුවාදී ධනපති පක්‍ෂයක් බවට ජවිපෙ පත්ව ඇති බව තවත් නායකයෙකු වන නලින්ද ජයතිස්ස පසුගියදා රුපවාහිනි විවාදයකදී ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ගැන බැලීමේදී පැහැදිලි වේ. ජවිපෙ (ජාජබ) ආණ්ඩුවක් යටතේ අධ්‍යාපනය විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පූද්ගලීකරණය කිරීමට විරුද්ධ නොවවුද එය සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ බවත් නලින්ද ජයතිස්ස පවසන ලදි. මෙය මොන තරම් විහිලු කථාවක්ද යන්න තේරුම් ගැනීම අපහසු නොවේ.

    ඊළඟ වැදගත් කරණයක් වනුයේ ජවිපෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම ගැන පැහැදිලි ප්‍රකාශයක් නොකර සිටිමේ වංචාකාරී හැසිරීමයි. 2022 මාර්තු මස ආර්ථික අර්බුදය උග්‍ර තැනකට පත් වූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂය හැර අන් සියලු පක්‍ෂ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය මුදල ගෙවා දැමීම නතර කරනු ලෙස ඉල්ලා සිටි පසු බිමක ජවිපෙ පමණක් එම ණය මුදල ගෙවා දැමිය යුතු බවට විජිත හේරත් විසින් කරන ලද ප්‍රකාශය ඔවුන් කෙතරම් නවලිබරල්වාදී ක්‍රියාදාමයට යටත්ව කටයුතු කිරීමට සුදානම් බව ප්‍රදර්ශණය කිරීමකි. ෂඵත්‍ වැඩපිළිවෙල ඔවුන්ගේ ඊනියා අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට දැමීමට ජවිපෙ සුදානම් බව මේ වන විට තහවුරු වී අවසානය. ආර්ථික වශයෙන් ධනේෂ්වර වැඩපිළිවෙල පිළිගැනීම පමණක් නොව දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ජවිපෙය සිංහල බෞද්ධ මතවාදය පෙරටුකර ගත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ජවිපෙ නායක අනුර කුමාර “දේශයේ අපේක්‍ෂාව” යන මැයෙන් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිගැන්වීම සඳහා ප්‍රධාන බෞද්ධ නායකයින් වන මල්වතු අස්ගිරි මහනායකයින් වන්දනාවේ යෑමෙන් ඔවුන්ගේ සිංහල ජාතිවාදී සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි.

    ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ “ජාතික ආරක්‍ෂාව” සඳහා “ශ්‍රි ලාංකිය” ජාතියක් හැදීමට කථා කිරීමෙන් ඔවුන්ගේ ලියවිල්ලේ සඳහන් කර තිබෙන කාරණය සත්‍යයක් නොවන අතර එවැනි ශ්‍රි ලාංකීය ජාතියක් මේ රටේ කිසි දිනක නොපැවති එකකි. මේ රටේ ශ්‍රි ලාංකිය පුරවැසියන් ඇතත් ශ්‍රි ලාංකික ජාතියක් ඇත්තේ නැත. ශ්‍රි ලාංකිය ජාතිය යනුවෙන් ඇත්තටම කථා කරන්නේ බහුතර සිංහල බෞද්ධ අනන්‍යතාවයට බව සැඟවිය නොහැකි කරුණකි. පසුගිය කාලයේ ජාතික ජන බලවේගය විසින් සම්පාදනය කරන ලද “ජාතික සමගිය – එක රටක්, විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු, ශ්‍රි ලාංකේය ජාතියක්” යනුවෙන් නිකුත් කරන ලද ප්‍රකාශණයේ ජාතික සමගිය හා සංහිඳියාව යන උප ශිර්ෂයේ සඳහන් කොටසේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ගැන සඳහන් කර තිබුණද දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණය විසදීම ගැන කිසිදු සංයුක්ත යෝජනාවක් සඳහන් කර නොමැත. එපමණක් නොව අඩුම තරමින් හමුදාව උතුරෙන් ඉවත් කිරීම හෝ හමුදාව බැරැක්ක වලට සීමා කිරීම ගැන සඳහන් නොකිරීම බරපතල ප්‍රශ්ණයක් මතු කරනු ලබයි. එපමණක් නොව “ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා ප්‍රවේශයක්” යනුවෙන් වන ජවිපෙ ප්‍රකාශණයේ මෙසේ සඳහන් වේ. “එක් පසෙක උතුරට පොලිස් බලතල හා ඉඩම් බලතල සහිත පළාත් සභා එපා යයි කියන සිංහල ජාතිවාදී කණ්ඩායම් සිටින අතර අනෙක් පස සිටින්නේ අඩු නැතිව පළාත් සභා ඉල්ලන දෙමළ ජාතිවාදී කණ්ඩායම්ද, බෙදුම්වාදී සංවිධාන හා පුද්ගලයින්, ඉන්දියානු ධනපති ආණ්ඩුව හා අධිරාජ්‍යවාදීන්ය.” (ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා ප්‍රවේශයක් 4 පිටුව 2 වන ජේදය)

    “ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම බලය බෙදීම බව පවසා ඒ වෙනුවෙන් ගෙන ආ බලය බෙදීමේ ව්‍යුහය වූ පළාත් සභා මු`ඵමනින්ම අසාර්ථක විය. එය බෙදුම්වාදීන්ට සේවය කරන්නක් මිස ජාතික ගැටලුවට විසඳුමක් වූයේ නැත.” (ජවිපෙ, ජාතික ප්‍රශ්ණය විසදීම සඳහා ප්‍රවේශයක් – අන්තිම පිටුව)

    ජවිපෙය කිසි දිනක ජාතික ප්‍රශ්ණය පංති දෘෂ්ඨියෙන් විග්‍රහ කිරීමට අසමත් වූ අතර ඔවුන් ජාතික ප්‍රශ්ණය දෙස බැලුවේ සිංහලවාදී දෘෂ්ඨියෙන් බව ඉහත ප්‍රකාශයෙන් පැහැදිලිව දැකිය හැකිය. ජවිපෙය වචන හරඹ කිරීම් හරහා සිය සිංහල ජාතිවාදී ස්ථාවරය සැඟවීමට කටයුතු කිරීම බහුලව දැකිය හැකිය. එසේ වුවද එම පක්‍ෂයේ නායකයින්ගේ ජාතිවාදී ස්ථාවරයන් වරින් වර ප්‍රකාශයට පත් කර ඇත. මේ එවැනි උපුටා දැක්වීමකි.

    “මේක ඇත්ත ඉතිහාසයද? අපේ රටට සෘජු ආක්‍රමණයක් කළේ කවුද, ඒ ඉන්දියාවයි. ඇයි මේ සත්‍ය අපේ ඉතිහාසයේ ලියන්න බැරි, බයද, පාවාදීපු අයට ලියන්න කැතද? ඔව් අපි දන්නවා කැතැයි කියලා. මේ රටේ දී 1987 දී සිදුවු ඇත්ත දෙයක් තිබෙනවා. ඒක ඉතිහාසයේ තිබෙනවා. ඒක ට්‍රාන්ස්පෝමර කථාවකින්, අයිඩෙන්ට් කාඩ් එකතු කළ කථාවකින් වළලන්න දෙන්න බැහැ. එදා මේ රටේ තිබුණේ දේශ ප්‍රේමී අරගලයක්, ලංකාවේ කෞතුකාගාරයේ තැබිය යුතු නමුත් එතැන නොමැති වටිනා දෙයක් තිබෙනවා”
    ලංකාවේ හමුදාව ජේ.ආර්. ජයවර්ධනයා යටත් කළා. ඒ හමුදාවෙ එක තුවක්කුවයි ආක්‍රමණිකයාට එරෙහිව පත්තු වුණේ. ඒ රජිව් ගාන්ධිට ගහපු තුවක්කුව. ඒ තුවක්කුව තියෙන්න ඕනෑ ලංකාවේ කෞතුකාගාරයේ , (ලාල්කාන්ත 2013.05.28 දින ලංකාදීප) අවධාරණය අපේ.

    ජවිපෙ සැඟවුනු ජාතිවාදය ගැන ප්‍රශ්ණ කරමින් දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය සුමිත් චාමින්ද විසින් ලියන ලද ප්‍රකාශයක් උපුටා දැක්වීම වැදගත් යයි සිතමි.

    “පසුගියදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ඡාවක් පැවැත්වුහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට අයත් “Lanka Truth” වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණේ පහත සිරස්තලය සහිතවය. ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් දිවුරුමට අදාල 7 වන උප ලේඛණය ඉවත් කිරීමෙන් වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සූක්‍ෂමව ශක්තිමත් කරලා තිබෙනවා.”ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල උපුටා දක්වමින් එම පුවත සඳහන් කර ඇත. (2020.09.13 දින රාවය පුවත්පත)

    එම ලිපියේ කතෲ වරයා වන සුමිත් චාමින්ද තව දුරටත් මෙසේ ප්‍රශ්ණ කරනු ලබයි. ප්‍රශ්ණය වන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥයින් මෙවන් අර්ථකතනයක් ඉදිරිපත් කිරීමට උත්සුක වන්නේ මන්ද යන්නයි. මෙය පසුගිය දිනක අනුර කුමාර දිසානායක පළාත් සභා අහෝසි කිරීම සම්බන්දයෙන් ඉදිරිපත් කළ අදහස සමග එකට ගෙන කියවූ විට ගම්‍ය වන්නේ කුමක්ද? මෙයින් ගම්‍ය වන්නේ ජාතික ප්‍රශ්ණය සම්බන්දයෙන් බහුත්වවාදී ප්‍රවේශයක් සඳහා පොදු එකඟ තාවයක් ගොඩනගා ගැනීමට ජාජබ නායකත්වය තවමත් අසමත් වී ඇති බවය. එනම් තවමත් නොවිසඳුන ජාතික ප්‍රශ්ණය ජාතික ජන බලවේගයේ ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ කේන්ද්‍රීය අංගයක් බවට පත්ව නොමැති බවයි. (රාවය, 2020.09.13 – සුමිත් චාමින්ද – අවධාරණය අපේ) කරුණ මෙසේ තිබියදි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරිය වන හරිනී අමරසූරිය පසුගියදා ප්‍රකාශ කළේ 13+ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සුදානම් බවය. හරිනි විසින් මෙම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇය දැඩි ලෙස නිහඩතාවයකින් පසුවීම කියාපාන්නේ ඇයගේ ප්‍රකාශය කෙරෙහි ජා.ජ.බලවේගයේ නායකයින් එම ප්‍රකාශයට එකඟ නොවන බව විය යුතුය.

    විජේවීර සමයේ සිට ජාතික ප්‍රශ්ණය අරබයා මාක්ස්වාදී ස්ථාවරයක නොසිටි ජවිපෙය මේ වන විට බහුතර සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වීම සඳහා ක්‍රමානුකූලව වෙනදාටත් වඩා ජාතිවාදී ස්ථාවරයන් කරා ගමන් කර ඇති බවය. එම පක්‍ෂයේ තවත් ප්‍රධාන පෙලේ නායකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති විසින් ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට ලංකාවේ මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා ඉදිකිරීමට යෝජිත අලුත් පාර සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර තිබුණි.
    “මෙම යෝජිත පාර ඉදිකිරීම මගින් ලංකාවේ ස්වාධිපත්‍යයට හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වනු ඇත.” (සුනිල් හඳුන්නෙත්ති)

    චීනය, ලංකාව තුළ සිදු කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය වැනි අතිවිශාල පරිසර විනාශයන් ඇතුලු විනාශකාරී ක්‍රියාදාමයන් ගැන හීන් කෙදිරියකින් ඇඟ බේරා ගන්නා ජවිපෙය ඉන්දියානු විරෝධය නැවත මතු කරන්නේ විජේවීර සමයේ ඉන්දියානු ව්‍යාප්තවාදයට අලුත් පිටුවක් එකතු කරමිනි. යුද්ධය පැවති සමයේ රාජපක්‍ෂ පාලනයට යුද්ධය ගෙන යාමට පූර්ණ සහයෝගය දුන් ජවිපෙය ඒ හරහා උතුර – නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය පෝෂණය කිරීමට දායකත්වය සපයනු ලැබීය. ජාතික ප්‍රශ්නය මාක්ස්වාදී දෘෂ්ඨියෙන් විග්‍රහ කර ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව කම්කරු පංතිය ඇතුලු වමේ බලවේග සන්නද්ධ කරනවා වෙනුවට ජවිපෙය සිදු කලේ ජාතිවාදය පදනම්ව දකුණේ සිංහල සමාජය ජාති වාදයෙන් ගිනියම් කිරීමය.

    1964 දී පැරණි වමේ පක්‍ෂ ධනපති සහන ආණ්ඩුවට ඇතුල් වීම දැඩි ලෙස විවේචනය කරමින් ආරම්භ කරන ලද ජවිපෙය චන්ද්‍රිකා සමග සභාග ආණ්ඩු වලට ඇතුල් වීම සිදු කරනු ලද්දේ පරිවාස ආණ්ඩු නමින් එය හඳුන්වා තම අනුගාමිකයින් නොමග යවමිනි. ජවිපෙ නායකත්වය අභ්‍යන්තරයේ සභාග ආණ්ඩුවලට ඇතුල් වීම කළ යුත්තේ කෙසේද යන්න ගැන විශාල සාකච්ඡාවක් පැවතීය. 2005 ජනාධිපතිවරණය අරභයා එම පක්‍ෂය තුල පැවැති සාකච්ඡාව සඳහා එවකට පක්‍ෂ නායකයා වූ සෝමවංශ අමරසිංහ ඉදිරිපත් කළ අභ්‍යන්තර ලියවිල්ලේ මෙසේ සඳහන් කර ඇත.

    “මේ අවස්ථාවෙ පොඑපෙ සමග සභාග ආණ්ඩුවක් හැදීම හරහා අපේ පක්‍ෂයට අවාසි වලට වඩා වාසි හිමිවේ. අපේ පක්‍ෂය බලය කරා යන ගමන එම වාසි තුළ වඩා වේගවත් කළ හැකිය. සභාග ආණ්ඩුවක් තුළ අපේ පක්‍ෂය ධනපති පංතිය යට නොකර පවත්වා ගත හැකි තත්වයක් දැන් පවතී. අනෙක් අතට අපේ පක්‍ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය යම් මට්ටමකට යට කිරීමට හා එම පක්‍ෂය මෙහෙය වීමට හැකියාවක් පවතී” – (සෝමවංශ අමරසිංහගේ අභ්‍යන්තර ලියවිල්ල – අංක 14)

    ජවිපෙ මෙම නිර්මාක්ස්වාදී විග්‍රහයන් 64 හා 70 දශකයේ සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ නායකයින් ශ්‍රිලනිපය සමග සභාග ආණ්ඩුවලට ඇතුලත් වීම සඳහා එම පක්‍ෂ අභ්‍යන්තරයේ සිදු කළ අධි තක්සේරු හා වැරදි න්‍යායාත්මක විග්‍රහයන් වලට වඩා කිසි ලෙසකත් වෙනස් වන්නේ නැත. මෙයින් පෙන්නුම් කරන්නේ පැරණි සාම්ප්‍රදායික වමේ නායකයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද කිසිදිනක මාක්ස්වාදී පක්‍ෂයක් නොවු බවය. මේ වන විට සමාජවාදයේ සියලු ගුණාංග අත්හැරදමා වේගයෙන් විකල්ප ධනපති පක්‍ෂයක් බවට ජවිපෙ හා ජාතික ජන බලවේගය පත් වෙමින් තිබෙන අන්දම තේරුම් ගැනීම වැදගත්ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ අනාගත ආණ්ඩුවක රටේ ආරක්‍ෂාව හිටපු හමුදාපති සරත් පොන්සේකාට දෙනු ලබන බවය. එයට තරඟකාරිව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පසුගියදා විශ්‍රාමික හමුදා නිලධාරින් සමග කළ සාකච්ඡාවකින් පසුව ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ රටේ ආරක්‍ෂාව සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කරන බවය. ධනේෂ්වර පාලන රටාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම සඳහා අනුර කුමාරලා කටයුතු කරන බව මෙයින් මනාව පැහැදිලිවේ.

    සරළව සංසන්දන කිරීමට නොහැකි වුවද ස්පාඤ්ඤයේ බිහිවු රැඩිකල් වාමාංශික බලවේගයක් වූ පොඩෙමෝස් (Pedemos) පක්‍ෂයේ නැගීම හා වැටීම දෙස බැලීමෙන් ජවිපෙ පිරිහිම තේරුම් ගැනීමට ඉවහල්වේ. 2014දී පොඩෙමෝස් (“අපිට පුලුවන්” යන්න මෙහි තේරුමයි) නමින් අලුත් පක්‍ෂයක් ගොඩ නගන විට ස්පාඤ්ඤය තුළ බරපතල දේශපාලන අර්බුදයක් සමග සාම්ප්‍රදායික පක්‍ෂ කැඩී යාම ආරම්භ විය. 2017 වසරේදී ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප්‍රාන්තයේ ඇතිවූ නිදහස ලබා ගැනීමේ ව්‍යාපාරයේදී පොඩෙමෝස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා දැක්ම සම්බන්ධයෙන් “ලිට්මස් පරීක්‍ෂණයක් විය. ඔවුන් කැටලෝනියානු ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිනොගත් අතර ඔවුන්ගේ වැනෙන සු`ඵ ස්ථාවරය වූයේ දෙපාර්ශවයේ කැමැත්ත පරිදි විසඳුමක් ලබා ගත යුතු බවයි. පොඩෙමෝස් පක්‍ෂයේ නැගීම හා කඩා වැටීම තුළින් ලංකාව වැනි රටවල ජනතාවට ඉගෙන ගැනීමට බොහෝ කරුණු ඇත. තම ප්‍රතිපත්ති අත්හැර දමා වැඩි ජනප්‍රසාධයක් දිනා ගැනීමේ අරමුණු ඇතිව ධනපති පංතියට ගැති ප්‍රතිපත්ති වලට අනුගත වීමෙන් කිසිදිනක සාර්ථක ගමනක් යා නොහැකි බව පොඩෙමෝස් ව්‍යාපාරයෙන් ඉගෙන ගත හැකිය.
    ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අර්ථයකින් පවතින ධනේෂ්වර ක්‍රමයට විකල්පයක් නොවන බව හා සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් ඔවුන් ධනපති ක්‍රමයේ ආරක්‍ෂකයින් බවට පත්ව තිබෙන බව ඉහත දක්වන ලද ඔවුන්ගේම ප්‍රකාශයන් තුළින් නිගමනය කළ හැකිය. පැහැදිලිවම ජවිපෙ නවලිබරල් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම සඳහා අධිරාජ්‍යවාදීන් සමග සම්මුති වලට එළඹ තිබෙන බව එම පක්‍ෂයේ නායකයින් ඇමරිකානු හා බි්‍රතාන්‍ය තානාපතිවරුන් හමුවී කරන ලද සාකච්ඡා වලින් වැඩි දුරටත් පැහැදිලි වේ. මෙම යථාර්තය තේරුම් ගනිමින් අර්බුදයේ කරවටක් ගිලී සිටින ලාංකීය ධනේෂ්වර අර්බුදය ඉදිරියේ ජවිපෙය කරන රැඩිකල් කථාවලට නොරැවටී ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී විකල්ප බලයක් ගොඩ නැගීම වෙනුවෙන් සටන් වැදීම හැර වෙනත් කෙටි මාවත් නොමැති බව අවධාරණය කළ යුතුය.

    – සිරිතුංග ජයසූරිය –

  • චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

    චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

     

    ඔක්තෝබර් 16-22 දක්වා බීජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික සම්මේලනය, මහලේකම් ෂී ජින්පින්ගේ චරිතය වටා බලය කේන්ද්‍රගත කිරීමෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. ඔහු පෙර නොවූ විරූ තුන්වන වාරයක් සඳහා රටේ ජනාධිපති බවට පත් කරන ලදී. (Xi ගේන් පසු පැහැදිලි උරුමක්කාරයෙකු නොමැති වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු තවත් වසර පහක් සහ සමහර විට ඊට වැඩි කාලයක් චීනය පාලනය කිරීමට අදහස් කරන බවයි.) චීන පාලනයේ ප්‍රබල දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුව දැන් ආධිපත්‍යය දරනු ඇත්තේ Xi ගේ මිත්‍ර පාක්ෂිකයින් විසිනි (සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුව සහ ආසන 24 කින් සමන්විත දේශපාලන මණ්ඩලය යන දෙකම සම්පූර්ණයෙන්ම පිරී ඇත්තේ “හන්” ජන වාර්ගික පිරිමි නියෝජිතයින්ගෙන් පමණි. මෙම තත්වය කිසිසේත්ම ඊනියා චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය වන “විවිධත්වය” ප්‍රදර්ශණය කිරීමක් නොවන්නේය.

    මාඕ සේතුං පාලනය යටතේ පැවති පුද්ගලික පෞරුෂ සංස්කෘතිය සිහිගන්වමින් “නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පින් චින්තනය” යන්න පක්ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සම්මේලනය තීරණය කිරීම ඒකාධිපති බලයක් ගොඩනැගීමේ පියවරකි. මෙම සම්මේලනයේ දී ගත් තීරණ සලකුණු කරන්නේ ‘සංස්කෘතික විප්ලවයේ’ නැගිටීම් සහ මාඕගේ මරණයෙන් පසුව ඇති වූ ‘සාමූහික නායකත්වය’ යැයි කියනු ලබන පියවරයන්ගෙන් නිශ්චිත වෙන්වීමක් සනිටුහන් කිරීමකි.

    තවද චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ආන්ඩුවෙහි මධ්‍යගත පාලනය දැඩි කිරීම සහ චීන ආර්ථිකය මන්දගාමී වීම කෙරෙහි පාලක තන්ත්‍රයේ නොසන්සුන් කම කෙරෙහි ප්‍රතිචාරය පෙන්නුම් කිරීමකි. ඉදිරියේදී කම්කරු ආරවුල් ඉහළ යාමක් පිලිබඳව මතුව තිබෙන බිය සහ එක්සත් ජනපදය සමග වැඩෙන වෙලඳ හා මිලිටරි ආතතීන්ද, හේතු කොට ගෙන ෂී පාලනය බියට පත්ව ඇත. මහජන විමුක්ති හමුදාව තායිවානය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති බවට සංඥා කරමින් චීනයේ ඉහළ හමුදා නායකත්වයේ සංශෝධනයක් කිරීමට මෙම සම්මේලනය පියවර ගනු ලැබුහ. පාලන තන්ත්‍රයට තවමත් විශාල සම්පත් සහ සමාජ ආධාර සංචිත ඇති අතර ඒවා බොහෝ දුරට ආර්ථික වර්ධනය අඛණ්ඩව ලබා දීම මත පදනම් වේ. එහෙත් ෂී බලයේ සිටීම තුන්වන වාරයක් දක්වා දීර්ඝ කිරීම සහ ඔහුගේ අත්තනෝමතික භූමිකාව පෙන්නුම් කරන්නේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ශක්තියේ සලකුනු නොව, එහි යටින් පවතින දුර්වලතාවය සහ අවිනිශ්චිතතාවයයි.

    අතිශයින් විශාල ප්‍රචාරයක් සහිත පැවති සම්මේලනයට සුදානමක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මිලියන 96.7 නියෝජනය කිරීමට නියෝජිතයින් 2,296 ක් තෝරා පත් කර ගන්නා ලදි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාදාමයට විරුද්ධ හඬක් මතු වූ අතර ඔක්තෝබර් 13 වන දින, හුදකලා තනි විරෝධතාකරුවෙකු විසින් බීජිං හි පිහිටි සිටොං පාලම මත බැනර් එල්ලා ටයර් පුළුස්සා දැමීමට කටයුතු කළේය. විරෝධතා බැනර් වල තේමාවවූයේ ෂී ජින්පින්ග්ගේ පුද්ගල පෞරුෂය ඉස්මතු කිරීම ඒකාධිපතිත්වය, මානව හිමිකම්, වාරණය, ෂී ජින්පිං නැවත තේරී පත්වීමට උත්සාහ කිරීම හා ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ කම්කරු පංතියේ වැඩ කරන කාලය දීර්ඝ කිරීම ඇතුළත් විය. එක් බැනරයක මෙසේ සඳහන් විය: “පාසලේ සහ වැඩ බිමේ වැඩ වර්ජනයක් ආරම්භ කරන්න, ඒකාධිපති සහ ජාතික ද්‍රෝහී පාලනයක් ගෙන යන ෂී ජින්පින් ඉවත් කරන්න!” යනුවෙන් එහි සඳහන්ව තිබුණිරාජ්‍ය නිලධාරීන් විසින් විරෝධතාකරුවා ඉතා ඉක්මනින් ඉවත් කරන ලද නමුත්, සිටොං පාලම අසල සිදුවීම පාලන තන්ත්‍රය විසින් වාරණය කරන තෙක් එම විරෝධතාවය ගැන චීන සමාජ මාධ්‍යවල වෛරසක් මෙන් ගලා යන්නට විය. ඕනෑම ආකාරයක විරුද්ධත්වයක් මතු වීම කෙරෙහි චීන පාලන තන්ත්‍රයේ පවතින චකිතය සහ කඩිනම් මර්දනයකට යොමු වීම, ඉදිරියේ විවෘත වීමට ඉඩ ඇති වඩාත් දුෂ්කර කාල පරිච්ඡේදයේ ස්වභාවය පිළිබඳ පිළිබිඹුවකි.
    පක්ෂ සම්මේලනයේ අවසන් දිනයේදී හිටපු ජනාධිපති හූ ජින්ටාඕ රැස්වීමෙන් පිටතට බලහත්කාරයෙන් කැඳවාගෙන යන විට තවත් ප්‍රසිද්ධ නොකළ සිදුවීමක් ද එහිදී සිදුවිය. මෙම සිදුවීම යන්තම් චීන මාධ්‍යවල වාර්තා වී ඇති නමුත්, හූට සැබෑ ලෙසම අසනීප වී ශාලාවෙන් පිටවීමට උපකාර අවශ්‍ය වූයේ ද එසේත් නැතිනම් ඔහු ඉවත් කිරීම ‘හූට වඩාත් සමීපව සම්බන්ධ වූ චරිතයක් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමේ ක්‍රියාවක් ද යන්න පිළිබඳ ප්‍රශ්ණය මතු වී තිබේ. ෂීට පෙර පැවති සාමූහික නායකත්වයේ වසර කීපයට සම්බන්ධ Xiගේ වර්තමාන පාලනය විවේචනය කරන බවට වාර්තා වන CCP හි තරුණ අංශය සමග හූ ජින්ටාඩ් සමීපව කටයුතු කිරීම මෙහි සැඟවුනු අර්ථය බව දැන් ප්‍රකාශයට පත්ව ඇත.

    කොංග්‍රසයේ ආරම්භක දිනයේ, කොවිඩ් ප්‍රතිපත්තය, ආර්ථිකය, හොංකොං සහ තායිවානය ප්‍රශ්නය සමඟ සම්බන්ද කරමින් ප්‍රධාන දේශනය ෂී විසින් පවත්වන ලදී. කොංග්‍රසය නව යුගයක ආරම්භය සනිටුහන් කළ බවත්, අවසානයේදී චීනය දශක තුනකින් පමණ “නවීකරණය වූ සහ සමෘද්ධිමත් ලෝක බලවතෙකු” වනු ඇති බවත් ෂී ප්‍රකාශ කළේය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ෂී අවධාරනය කළේය. වෙනත් වචන වලින් කිවහොත්, ස්වාධීන කම්කරු ව්‍යාපාරයක් මත පදනම් වූ විපක්ෂයක් ගොඩනැගීම, පාලක තන්ත්‍රය විසින් කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කළේය. “චීන ලක්ෂණ සහිත සමාජවාදය” යන ධජය යටතේ ආර්ථිකය “ජාතික සංවර්ධනය” කෙරෙහි අවධානය යොමු කරන බව ෂී නිවේදනය කළේය. මෙය යුක්රේන යුද්ධයෙන් පසු උත්සන්න වූ බීජිං සහ වොෂින්ටනය අතර මිලිටරි ආතතීන්ගේ සහ ඔවුන්ගේ ආර්ථිකයන් ‘විසංයෝජනය කිරීමේ‘ විකාශනය වන ක්‍රියාවලියේ පිලිබිඹුවකි. ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන්, එක්සත් ජනපද-චීන වෙලඳ ආතතීන් මධ්‍යයේ 2018 දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය “ගෝලීය සම්බන්ධතා බිඳ වැටීමට” කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා ඇත. ගෝලීයකරණයේ මන්දගාමිත්වයක් පැවතියද, ලෝකයේ ප්‍රමුඛ ආර්ථිකයන් දෙක වන චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය, ලෝක ආර්ථිකය මත තවමත් රඳා පවතී. චීනයට තම භාණ්ඩ විකිණීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ දියුණු තාක්ෂණය සඳහා ලෝක වෙළඳපොළට ප්‍රවේශය අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, රටේ සෘජු විදේශ ආයෝජන මේ වසරේ මුල් මාස නවය තුළ පෙර වසරට වඩා 15.6% කින් ඉහළ ගොස් ඇත.

    එහෙත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ආධිපත්‍යයට ඇති ලොකුම තර්ජනය ලෙස චීනය සලකන අතර බීජිනයට වල කැපීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටී. ජනාධිපති බයිඩන් හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද වෙළඳ තීරුබදු නොකඩවා පවත්වාගෙන ගිය අතර එම ලැයිස්තුවට උසස් අර්ධ සන්නායක එකතු කළේය. චීනයේ ජෛව තාක්ෂණය සහ කෘතිම බුද්ධි කර්මාන්ත ඉලක්ක කර ගනිමින් නව සම්බාධක සමඟ එක්සත් ජනපදය මෙය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදයේ මෙම දැඩි වෙළඳ සම්බාධක චීන පාලන තන්ත්‍රය තමන්ගේම තාක්ෂණය දියුණු කිරීමට දරන උමතු උත්සාහයන් දැකිය හැක. ජනාධිපති ෂී 20 වැනි පක්ෂ සම්මේලනයේදී මූලික තාක්ෂණයන්හි “සටන ජය ගන්නා ලෙස” චීනයෙන් ඉල්ලා සිටියේය. දැනට, එක්සත් ජනපදය සහ චීනය අතර සම්බාධක ගැටුම ලෝකය නව අවපාතයකට ඇද දැමීමේ බරපතල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය.

    වඩා ජාතික වැඩපිළිවෙලක් පදනම මත හෝ ලෝක වෙලඳපොල හරහා හෝ මේ දෙකේම එකතුවකින් චීන පාලන තන්ත්‍රයට එය මුහුණ දෙන දිගුකාලීන ගැටළු වලින් මිදීමට මගක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ පාලනයක් සහ කළමනාකරණය යටතේ සැලසුම්ගත ආර්ථිකයක් සහ සැබෑ සමාජවාදී ජාත්‍යන්තරවාදය ඇතුළු සැබෑ සමාජවාදී චීනයකට පමනක් සමෘද්ධිය සහ සාමය සුරක්ෂිත කළ හැකිය. ධනවාදය සහ ඉඩම් හිමිකම පෙරලා දමා විදේශීය ධනේශ්වර බලවතුන් පලවා හරින ලද 1949 චීන විප්ලවය වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාව සඳහා දැවැන්ත ඉදිරි පියවරක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සැළසුම් කළ ආර්ථිකයක් යටතේ කම්කරු පන්තියට සහ දුප්පත් ගොවීන්ට සැලකිය යුතු ආර්ථික හා සමාජීය ජයග්‍රහණ ඇති විය. ලෙනින් සහ ට්‍රොට්ස්කි සහ බොල්ෂෙවික් පාලනය යටතේ 1917 විප්ලවයෙන් පසු රුසියාවේ කම්කරු රාජ්‍යයේ මුල් වසර කීපය මෙන් නොව, 1949 න් පසු ආරම්භක කාලයේදීවත් චීනයේ කම්කරු පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. ඒ වෙනුවට මාඕ තම පාලන තන්ත්‍රය ගෙන යාමට ආදර්ශයට ගත්තේ ජෝසෆ් ස්ටාලින්ගේ පාලන තන්ත්‍රය විසින් රුසියානු කම්කරු පන්තියෙන් ප්‍රජාතන්ත්‍රවාදී බලය උදුරා ගත් මිනීමරු නිලධරය උදාහරණයට ගනිමිනි.

    චීනය ලෝකයට ලාභ භාණ්ඩවල ශ්‍රම අපනයනකරු ලෙස ක්‍රියා කිරීම මත පදනම් වූ ආර්ථික වර්ධනය, පසුගිය වසර 40 තුළ ඉහල නැගීම දක්නට ලැබුණි. චීනය දැන් ලෝක ආර්ථිකයෙන් 18% කට වඩා වැඩි ප්‍රමාණයක් දරන අතර දෙවන විශාලතම රට ලෙස ශේණිගත වී තිබේ. නමුත් මෙම අසාමාන්‍ය වර්ධනය එහිම දැවැන්ත ප්‍රතිවිරෝධතා සහ ගැටලු මතු කර ඇත. එය චීනයේ සමාජ ආතතීන් උත්සන්න වීම, ධනවතුන් හා දුප්පතුන් අතර දැවැන්ත පරතරයක් ද, චීන කම්කරු ජනතාව නිර්දය ලෙස සූරාකෑම ද දක්වා වර්ධනය වී ඇත. ඉදිරි වසර 30ක් සඳහා එහි අඩුම වර්ධන අනුපාත වාර්තා කිරීම කෙරෙහි චීන ආර්ථිකය පුරෝකථනය කර ඇති අතර, දැනටමත් තරුණයන්ගේ සහ ග්‍රාමීය විරැකියා සංඛ්‍යා ඉහල යමින් පවතින අතර, සමාජ පිපිරීම් ඇති වීමේ හැකියාව පෙන්නුම් කරයි. කොවිඩ් වසංගතය නිසා දේශසීමා පාලනය සහ කඩින් කඩ අගුලු දැමීම චීනයේ ආර්ථිකය මන්දගාමී වීමට විශාල සාධකයක් වී ඇති අතර, අවම වශයෙන් පාරිභෝගික වියදම් පහත වැටීමක් ඇති නොකරයි. ඒ වගේම චීනය දේපල අර්බුදයකටත් මුහුණ දෙන අතර වැඩිවන දේපල සංවර්ධකයින් ඔවුන්ගේ ණය පැහැර හරිමින් සිටිති. මුදල් ඒකකය දුර්වල වෙමින් පවතී, ප්‍රාග්ධනය පිටතට ගලායාම ඉහළ යමින් පවතින අතර තරුණ විරැකියාව ජුනි මාසයේදී 19.3%ක වාර්තාගත ඉහළ අගයක් ගනු ලැබීය.

    මෙම වසරේ චීනයේ වර්ධනය 3.2% දක්වා මන්දගාමී වනු ඇතැයි IMF අපේක්ෂා කරයි, එය කොවිඩ් වසංගතයේ පළමු වසර හැර දශක හතරකින් පසු එහි කුඩාම ව්‍යාප්තියයි. චීනයට දිගු කාලීන ගැටලු ඇති බව IMF අනතුරු අඟවා ඇත. නිෂ්පාදනය අඩුවීම සහ වයස්ගත ජනගහනය ද ඇතුළුව. ජපානය සහ දකුනු කොරියාව ඇතුලු චීනය සමග ශක්තිමත් වෙලඳ සම්බන්ධතා ඇති ආසියාවට චීනයේ මන්දගාමිත්වය “සැලකිය යුතු ලෙස නරක” වනු ඇතැයි IMF අපේක්ෂා කරයි. චීනයේ සහ ආසියාවේ ඕනෑම මන්දගාමිත්වයක් හෝ අවපාතයක්, මේ වන විට අවපාතයන් කරා ඇදෙමින් පවතින එක්සත් ජනපදය හා යුරෝපය මුහුන දෙන ආර්ථික ගැටළු විසින් තව තවත් උග්‍ර කරනු ඇත. චීනය සහ එක්සත් ජනපදය අතර මතුව තිබෙන ආතතීන් වඩාත් පැහැදිලිව කේන්ද්‍රගත වී ඇත්තේ හොංකොං සහ තායිවානය මතය. සිය සම්මේලන කතාවේදී, ෂී කියා සිටියේ හොංකොං හි “අවුල්වලින් පාලනයට ප්‍රධාන සංක්‍රාන්තියක්” ඇති බවයි – ෂී තායිවානයේ “සාමකාමී යලි එක්වීම” සඳහා ද ඉල්ලා සිටි නමුත් බලය භාවිතා කිරීම අත් නොහරින බවට දිවුරුම් දුන්නේය. ලෝක වේදිකාවේ චීනයේ ආස්ථානය ගැන ෂී පුරසාරම් දොඩමින් මෙසේ පැවසීය: ”චීනයේ ජාත්‍යන්තර බලපෑම, ආකර්ෂණය සහ ලෝකය හැඩගැස්වීමේ බලය සැලකිය යුතු ලෙස වැඩි වී ඇත යනුවෙනි.”

    20 වැනි ජාතික සම්මේලනයෙන් ඉක්බිතිව, ඇමරිකානු පෙන්ටගනයේ ආරක්ෂක මූලෝපායික ලියවිල්ලක් පැවසුවේ, චීනය සමඟ ගැටුමක් “නොවැළැක්විය හැකි හෝ යෝග්‍ය නොවන” නමුත්, බීජිනයේ “ප්‍රධාන කලාපවල ආධිපත්‍යය” වැළැක්වීමට උත්සාහ කළ යුතු බවයි. මෙය දකුණු චීන මුහුදේ චීනය විසින් විශාල මිලිටරි බලය ගොඩ නැගීම සහ තායිවානය දෙසට එහි වැඩි පීඩනය යෙදවීම පිලිබඳ කරන ලද සඳහනකි.
    පෙන්ටගන ලේඛනය යුක්රේනයේ රුසියාවේ යුද්ධය සටහන් කරන අතර රුසියාව එහි න්‍යෂ්ටික අවි, සයිබර් මෙහෙයුම් සහ දිගු දුර මිසයිල සමඟ එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට බරපතල තර්ජනයක් බව පවසයි. එහෙත්, “ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ ඒ සඳහා වැඩි වැඩියෙන් බලය ඇති එකම තරඟකරුවා චීනයයි”, යනුවෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කළේය. රුසියාවේ සහ චීනයේ ප්‍රධාන න්‍යෂ්ටික සන්නද්ධ තරඟකරුවන් දෙදෙනෙකුට එක්සත් ජනපදය මුහුණ දී සිටින බව පෙන්ටගන ලේඛනයේ සඳහන් වේ. ඇත්ත වශයෙන්ම, සම්මේලනයෙන් ඉක්බිතිව, චීනයේ විදේශ ඇමති, වැන්ග් යී, රුසියාවේ සිටින ඔහුගේ සගයා වන සර්ජි ලැව්රොව්ට දුරකථන ඇමතුමක් දුන්නේ, “චීනයේ සහ රුසියාවේ ප්‍රගතිය අවහිර කිරීමට දරන ඕනෑම උත්සාහයක් කිසිදා සාර්ථක නොවනු ඇති” බව පෙන්වීමටය. යුක්රේනයේ රුසියාවේ විනාශකාරී යුද ප්‍රයත්නය ගැන බීජිනය දැඩි ලෙස විවේචනය කර ඇතත්, එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට එරෙහිව රුසියාවේ අත්‍යවශ්‍ය සහචරයෙකු ලෙස පවතී. බොහෝ මිලිටරි විචාරකයින්ගේ මතය අනුව චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීම ආසන්න නොවුනත්, චීනයේ නැගී එන බලය සහ එක්සත් ජනපදයේ බලය පිරිහෙමින් පවතින තාක් කල් එය තත්ත්වයේ ‘තර්ක’ තුළ රැඳී තිබේ. අවසාන වශයෙන්, ස්වාධීන පන්ති වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීමෙන් යුද්ධ හා මිලිටරිකරණ අනතුරු කපා හැරිය හැක්කේ චීනයේ සහ ආසියාවේ සහ ලෝකය පුරා සිටින සංවිධිත කම්කරු පන්තියට පමනි.

    2014 දී දෙරට අවසන් වරට හමුවු අවස්ථාවේ සිට නේටෝ හමුදාවන් විසින් දැඩි ලෙස සම්පත් හා පුහුණු කරන ලද යුක්රේන හමුදාවට මුහුණ දීම සඳහා සූදානම් නොවී යුක්රේනයට තම හමුදාව යැවූ මොස්කව්හි මිලිටරි වැරදි පියවර වලින් බීජිං ඉගෙන ගනු ඇත. බොහෝ බටහිර යුධ විශේෂඥයින් විසින් ඇස්තමේන්තු කර ඇත්තේ චීනය විසින් තායිවානය සාර්ථකව ආක්‍රමණය කිරීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇති බවයි. මෙය එසේ වුවද, මේ අතර, එක්සත් ජනපද සහ චීන හමුදා නාවික යාත්‍රා අතර ඇති වන ගැටුම් ඇතුළුව කලාපයේ ඕනෑම ‘අහම්බ’ සිදුවීම් මගින් වඩා පුළුල් හා විනාශකාරී ගැටුමක් ඕනෑම මොහොතක අවුලුවාලිය හැකි බවයි. මෙම තත්වයට මුහුණ දීම සඳහා චීනයේ සහ සමස්ථ ආසියාව පුරා ධනේෂ්වරයෙන් ස්වාධීන වූ පන්ති වැඩපිලිවෙලක් සමග කම්කරු පන්තියේ බහුජන පක්ෂ ගොඩනැගීම අත්‍යවශය සාධකයකි. එමගින් ධනපතියන් සහ ධනවාදී නිලධාරී පැලැන්තිය පාලන බලයෙන් ඉවත් කිරීමටත්, කම්කරුවන්ගේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හඳුන්වා දීමටත් අත්‍යවශය පූර්ව අවශ්‍යතාවයක් බව අවධාරණය කළ යුතුය.

    රතු තරුව විදේශ ලියුම්කරු……