
මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය. නිරායුද්ධ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීමට ආණ්ඩුවේ මූලික වගකීමය. එම ගැටුම්කාරී තත්වය ඉන් නොනැවති අනෙකුත් බන්ධනාගාර දක්වා පැතිරෙන නොසන්සුන්කාරී තත්වයක් පැන නැගී තිබෙන බවට වාර්තා වෙමින් පවතී. මෙම තත්වයට ආණ්ඩුව මැදිහත්ව වහාම විසඳුම් ඉදිරිපත් නොවන්නේ නම් ඉදිරියේ මෙය තවත් නරක තත්වයකට වර්ධනය වීමට බොහෝ ඉඩ ඇති බව පෙනේ.
මාසයක් ඇතුලත මීගමුව, මහර හා කුරුවිට බන්ධනාගාර වල සිදුවීම් හුදකලා හෝ අහම්භ සිදුවීම් ලෙස සුඵවෙන් සැලකිය නොහැකිය. මෙයින් පෙන්වන්නේ නිසි පරිපාලන ක්‍රම වේදයකින් තොරව දුර්වලව පවතින කළමණාකාරිත්වය මෙයට හේතුවී ඇති බවයි. මෙම තත්වය උදා වීමට මූලික හේතුව වී තිබෙන්නේ සිරකරුවන් හා රැඳවියන්ට අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැතිව සතුන්සේ ඔවුන් සිරමැදිරි තුල ගාල් කර තබා ගැනීමය. එකලොස් දහසක සිරකරුවන් රදවා තබා ගත හැකි සිරමැදිරි පද්ධතිය තුල හතලිස් හතර දහසක් වැනි 4 ගුණයකින් වැඩි සිරකරුවන් සිටීමෙන් මෙම තත්වය පැහැදිලිවේ. බන්ධනාගාර වල පවතින අධික තදබදය වැලැක්වීම සඳහා මෙම ආණ්ඩුව විසින් ගත් හදිසි පියවර වූයේ ගාල්ල මහමෝදර පැරණි රෝහල හා මහනුවර වසා දමා තිබුණ බන්ධනාගාරය නැවත විවෘත කිරීමය. මෙවැනි පැලැස්තර විසඳුම් වලින් බන්ධනාගාර අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බව බන්ධනාගාර ඇමති හා මෙම ආණ්ඩුව තේරුම් නොගැනීම මහා ඛේදවාචකයකි. යම් කිසි වරදක් සිදු කිරීම හේතු කොටගෙන සිර දඩුවමකට යටත් කෙරෙන පුද්ගලයෙකුට ඔහුගේ සාමාන්‍ය නිදහස අහිමිවන නමුත් ඔහුගේ ගරුත්වය සිරමැදිරිය තුල අහිමි නොවිය යුතුය.
ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම්, අර්ථවත් පුනුරුත්තාපන වැඩපිළිවෙල් මෙන්ම ලිවීම හා කියවීමේ නිදහස ඔවුන්ට හිමිවිය යුතුය. එසේ වුවද මෙහි පවතින බන්ධනාගාර තුල මෙම පහසුකම් සහිත තත්වයක් පවතින්නේ නැත. එබැවින් ආණ්ඩුව තත්වය පාලනය කිරීම සඳහා ක්ෂනික පියවර ගැනීමට අමතරව දිගු කාලීනව බන්ධනාගාර වල ප්‍රශ්ණ විසදීමට මැදිහත්විය යුතුය. එහි අත්‍යවශ්‍ය පියවරක් වන්නේ මේ වන විට හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස්ධූරය සඳහා වහාම ස්ථිර කොමසාරිස්වරයෙකු පත් කිරීමය. අනෙක් පැත්තෙන් උතුර හා නැගෙනහිර පවතින මහා පරිමාණ හමුදා ඉඩම් හා කඳවුර බන්ධනාගාර තදබදය වලක්වා ගැනීම සඳහා යොදා ගැනීමය. එසේම ඉතාම සුඵ වැරදි වලට ඇප මුදල් ගෙවීමට නොහැකිව මාස ගනන් බන්ධනාගාර වල හිරවී සිටින සිරකරුවන් පොලිස් විමර්ශනයකට යටත් කර නිදහස් කිරීමට පියවර ගැනීමය. බන්ධනාගාර වල කිසිදු මූලික අයිතිවාසිකමක් පවා නොදෙමින් සතුන් මෙන් හිරකර තබා ගැනීමේ කුරිරු මර්ධනකාරී තත්වය වෙනස් කිරීමට පියවර ගැනීමට අසමත් වන්නේ නම් මෙම තත්වය ඉදිරියටත් ඇති වන බව ආණ්ඩුව හා ඇමතිවරයා තේරුම් ගත යුතුය. ඒ වෙනුවට ආණ්ඩුව සියලු දෙය විපක්ෂයේ කුමණ්ත්‍රණය බව පෙන්වා ඇඟ බේරාගැනීමේ උත්සාහය විලිලැජ්ජා නැති වැඩකි.




