lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

AI – කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –

Taniya by Taniya
February 16, 2024
in Articles, From the Press
0
AI –  කෘතිම බුද්ධිය   කම්කරු පංතියට  ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –
Share on FacebookShare on Twitter

මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ”Artificial Intelligence (AI)”නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්ය.AI තුළින් කම්කරුවන්ගේ රැකියා වලට ඇති කරන බලපෑම, ජීවනෝපායන් සහ අපගේ එදිනෙදා ජීවිතයට ඇති කළ හැකි බලපෑම ලොව පුරා පුවත්පත්වල මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ.AI තාක්‍ෂණයේ මෑත කාලීන වර්ධනය යන්නෙන් අදහස් කරන්නේ මානව වර්ගයාට අභියෝග කළ හැකි සුපිරි මිනිසෙකුගේ චින්තන හැකියාව සහිත යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හැකි බව නොවේ.

නමුත් මේ වර්ධනයන් හේතුවෙන් පුළුල් පරාසයක රැකියා සහ කාර්යයන් සඳහා කම්කරු ශ්‍රමය යාන්ත්‍රික ස්වයංක්‍රීයකරණය භාවිතා කිරීමට හැකි වී තිබේ. මේ වන විට අන් කවරදාටත් වඩා ලොව පුරා පවතින සියළුම සමාගම් තමා සිටින ක්ෂේත්‍රය තුළ විශාලතම පංගුවත් උපරිම ලාභයත් අත්පත් කර ගැනීමේ බලුපොරයක නිරතවෙමින් සිටිති. ඒ සමඟම මේ වන විට ධනවාදය මුහුන දී සිටින ව්‍යුහාත්මක අර්බුදය තුළ වැඩ කරන ජනතාව දිනෙන් දින වඩ වඩාත් මිරිකීමකට ලක්වෙමින් සිටිති. මේ තත්වය හමුවේ වැඩකරන ජනතාව තුළින් එල්ල වන විරෝධය, ඉල්ලීම් සහ බලපෑම් වලට විසඳුමක් ලෙස ස්වයංක්‍රීයකරණය යොදාගතහැකි ආකාරය පිළිබඳ ධනපති පන්තියේ අවධානය යොමුව තිබේ.

■ වර්තමානයේ දී AI තාක්ෂණයට කුමක් කළ හැකිද?

AI හෙවත් කෘතිම බුද්ධිය යනුවෙන් අදහස් කරන්නේ මිනිසෙකු විසින් සිදු කරන සියළුම කාර්‍යභාරයන් සචේතනිකව සහ අවබෝධයක් ඇතිව සිදුකිරීමට හැකි යන්ත්‍ර පවතිනවාද යන ගැටළුවට ඇති පැහැදිලි උත්තරය නම් නැත යන්නයි. නමුත්AI තාක්ෂණය විසින් ස්වයංක්‍රීයව සිදු කළ හැකි ක්‍රියාවලි තුළට චෙස් ක්‍රීඩාවේදී සංචලන හා රටා හඳුනා ගැනීම, ලිපියක, පොතක හෝ වෙනයම් ලියවිල්ලක අක්ෂර වින්‍යාසය ව්‍යාකරණ ඇතුළු සෝදුපත් බැලීම, දෙන ලද තොරතුරු වලට අනුව රූප නිර්මාණය කිරීමට, දත්ත විශ්ලේෂණයට, පරිඝණක කේතයට (Computer Programming), අන්තර්ජාලයේ පවතින තොරතුරු සහ භාෂා ශෛලියන් හඳුනාගෙන ඒ හා සමාන ශෛලියෙන් යුතු ලිපි, කවි සහ සාහිත්‍ය නිර්මාණය කිරීම යනාදිය වේ. මිනිසෙකු සමඟ සැබෑ ලෙස සංවාදයේ නිරතවන බව හැඟෙන ලෙස සංවාදයක නිරත වීමට මෙන්ම සමහර ස්වයංක්‍රීය නිශ්පාදන හා සේවා කටයුතු සපයන යාන්ත්‍රික පද්ධති ඇතුළු විශාල පරාසයක්ද මෙයට ඇතුළත් වේ.

නමුත් මිනිසුන්ට සහ සතුන්ට සිදු කළ හැකි පරිදි ඉන් ඔබ්බට සිතීමේ සහ තර්ක කිරීමේ හැකියාව ඇති සවිඥ්ඥානික තීරණ ගැනීමට හැකියාව ඇති කෘතිම බුද්ධියක් නැතහොත් “කෘතිම සාමාන්‍ය බුද්ධිය” (General Artificial Intelligence) වෙත ලඟාවීමට වත්මන් තාක්ෂනයට තව ඉතා දිඟු දුරක් ගමන් කළ යුතුව ඇත. AI තාක්ෂණය දියුණු වන්නේ යන්ත්‍ර ඉගෙනීම (Machine Learning) නැමැති ක්‍රමය ඔස්සේය. එනම් යම් ක්‍රියාකාරකමක් වඩාත් නිවැරදිව සිදුකිරීමට හැකිලෙස ස්වයංක්‍රීයව යාවත්කාලීන වන ඉතා සංකීර්ණ ගණිතමය සමීකරණ හා සූත්‍ර හරහා මිනිසුන් සහ සතුන් යම් කිසි ක්‍රියාවක් ඉගෙන ගැනීම හා සමාන ක්‍රියාවලියක් ප්‍රතිනිර්මාණය කිරීමයි. ආරම්භක අවදියේදී මෙම පරිඝණක වැඩසටහන් අදාල කාර්්‍ය සිදුකිරීමේ දී දක්වන හැකියාව ප්‍රාථමික වන නමුත් කාලයත් සමඟ එම ක්‍රියාකාරකම් හරහා ලබාගන්නා දත්ත උපයෝගී කරගෙන තමා සිදුකරණ ක්‍රියාවලිය වඩාත් නිවැරදිව සහ කාර්්‍යක්ෂමව සිදුකිරීමට හැකි ලෙසට ස්වයංක්‍රීයව වෙනස් වී තිබේ. මෙවැනිAI වැඩසටහන් නොයෙකුත් ක්ෂේත්‍රයන් ස්වයංක්‍රීය කරණය කිරීමට යොදුගැනීමට හැකියාව පවතී.

පහත දැක්වෙන්නේ මේ වනවිටත් එසේ ස්වයංක්‍රීයකරණය භාවිතා වන අවස්ථා කිහිපයකි.

1. ස්වයංක්‍රියව වාහන නිශ්පාදනය කරන කම්හල් වල පෑස්සීම් කටයුතු සඳහා අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කිරීමින් වඩා නිරවද්‍යව සහ ශක්තිමත්ව පෑස්සීම් කටයුතු සිදුකිරීම.

2. විශාල ස්වයංක්‍රීය ගොවිපළ වල එක් එක් ශාකය සඳහා උපරිම වර්ධනයක් ලැබෙන ලෙස අවශ්‍ය පොහොර, ජලය ඇතුළු අනෙකුත් සංඝටක ලබාදීම සහ එම ගොවිපළ තුළ ආලෝකය ඇතුළුව පරිසරය පාලනය කිරීම.

3. Facebook වැනි සමාජ ජාල වල පළවන බිලියන සංඛ්‍යාත පළකිරීම් අතරින් ඔබගේ කැමැත්ත සහ උනන්දුවට වඩාත් ගැලපෙන සහ ඔබ වඩාත් ප්‍රියකරණ පළකිරීම් පමණක් ඔබ වෙත ප්‍රදර්ශණය කිරීම.

4.Amazon වැනි සමාගම් සතු දැවැන්ත පරිමාණ භාණ්ඩ බෙදාහැරීමේ ගබඩාවන් වල භාණ්ඩ නිසි පිළිවෙළට ගබඩා කිරීම සහ අදාළ ගැණුම්කරුවන් වෙත බෙදාහැරීමට නිසි පරිදි බෙදා හැරීම.

5. ජේම්ස් වෙබි දුරේක්ෂය (James Webb Telescope) විසින් මේ වන විට සිදුකරමින් තිබෙන අපට පෙනෙන විශ්වය තුළ ඇති තාරකා සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය.

මේ තාක්ෂණික දියුණුව සමඟ අති විශාල සංඛ්‍යාලේඛණ හා දත්ත සමඟ කටයුතු කිරීමේ හැකියාව මෙන්ම ඒ දත්ත වඩාත් සංකීර්ණ ලෙස හා නිරවද්‍යව විශ්ලේෂණය කිරීමට අවස්ථාව අප වෙත හිමිව තිබේ.

මේ ආකාරයෙන් විශාල පරාසයක් තුළ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව හේතුවෙන්AI තාක්ෂණය සහ පවතින ධනවාදී පුද්ගල කේන්ද්‍රීය සමාජ ක්‍රමය සමඟ සංකීර්ණ ගැටුමක් නිර්මාණය වීමට අවස්ථාව සැළසී තිබේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මේ ආකාරයෙන් නිර්මාණය කරණ ලද කෘතිම බුද්ධි වැඩසටහන් වලින් යන්ත්‍ර ඉගෙනීමේ ක්‍රමවේදයන් හරහා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණ හා සංකල්ප භාවිතා කරමින් සිටීමය.

සමහර රූප නිර්මාණය කිරීමට හැකියාව ඇතිAI වැඩසටහන් නිර්මාණය කරන ලද පින්තූර ඔවුන්ගේ සන්නාම සහිතව අන්තර්ජාලයේ සංසරණය වන අතර එම වැඩසටහන් නිර්මාණය කිරීමේදී සහ පුහුණු කිරීමේදී යොදාගන්නා ලද නිර්මාණ මොනවාද යන්න සළකා බැලිය යුතුය. එම වැඩසටහන් මඟින් නිර්මාණය කරන නිර්මාණකරුවන්ගේ අයිතිය සහ ඒවා නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද තොරතුරු වල අයිතිය කා සතු වියයුතුද යන්න ගැටළුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ධනවාදී ක්‍රමය තුළ පවතින පුද්ගල දේපළ අයිතිය සහ කෘතිම බුද්ධිය විසින් සිදුකරන නිර්මාණ සම්බන්ධයෙන් සෘජු ගැටුමක් මේ වන විට නිර්මාණය වී තිබේ. පසුගිය දින වලදී ඇමෙරිකාවේ ලේඛක සංසදයේ (Writers Guild of America) වැඩ වර්ජනයේ ඉල්ලීම් අතර තිබු AI විසින් නිර්මිත පිටපත් සමඟ වැඩ කිරීම ලේඛකයන්ට තහනම් කිරීමට සහ ලේඛකයන්ගේ නිර්මාණ යන්ත්‍ර විසින් ඉගෙනීම සඳහා භාවිතා කිරීම වැලැක්වීමට තිබූ ඉල්ලීම් තුළ මේ ගැටුම පැහැදිළිව පෙනෙන්නට තිබුනි.

■ රැකියා සුරක්ෂිතතාවයට ඇති වන බලපෑම

මෙය බලපා ඇත්තේ නිර්මාණාත්මක කර්මාන්තවල පමණක් නොවන අතර මෙහි බලපෑම පුළුල් පරාසයක් පුරා විහිදී පවතින ස්වයංක්‍රීයකරනය කරන කළ හැකි රැකියා වලට අදාලය. ආයෝජන බැංකුවක් වන Goldman Sachs පවසන ආකාරයට එක්සත් ජනපදයේ සාමාන්‍ය රැකියාවලින් 2/3ක් යම් තරමක ස්වයක්‍රීයකරණයට නිරාවරණය වී ඇති බවත් 1/4ක් ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් යන්න ගැන මේ වන විට අනාවැකි පළ කර ඇත. මේ අනුව පුර්ණ කාලීන රැකියා මිලියන 300ක පමණ ප්‍රමාණයක් ස්වයංක්‍රීයකරණයට ලක්වනු ඇත. මේ තත්වය තුළAI තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණයට අදාළව යම් නව රැකියා ප්‍රමාණයක් බිහිවනු ඇත. නමුත්AI තාක්ෂණය හඳුන්වාදීමේ සහ ස්වයංක්‍රීයකරණය කිරීමේ මූලික අරමුණ වන්නේ අදාළ ක්ෂේත්‍රයෙන් මිනිස් ශ්‍රමය විස්තාපනය කිරීම නිසා එසේ බිහිවන රැකියා ප්‍රමාණය කිසිම ආකාරයකින් අහිමිවන රැකියා ප්‍රමාණය හා සමාන කිරීමට නොහැකිය.

මේ වන විටAI සහ ස්වයංක්‍රීයකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා බවට පත්ව සිටින්නේ චීනයයි. කොවිඩ් අර්බුදයත් සමඟ චීනය ස්වයංක්‍රීයකරණය දෙසට යන ගමන ඉක්මන් වී ඇති අතරම කෘෂිකර්මය, ප්‍රවාහනය, නිශ්පාදන ක්‍රියාවලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ස්වයංක්‍රීයකරණය කිරීම අරඹා ඇත. චීනය විසින් නිර්මාණය කරන ලද ලොව විශාලතම ස්වයංක්‍රිය පර්යන්තය වන යැන්ග්ෂන් (Yangshan) ස්වයංක්‍රීය පර්යන්තයට පැය 24ක් තුළ බහාළුම් 26,066ක් හැසිරවීමේ හැකියාවක් පවතී. (කොළඹ වරායේ දිනක හැකියාව බහාලුම් 20,000කි.) චීන කළමණාකාරීත්වය ප්‍රකාශකරන්නේ ස්වයංක්‍රීයකරණය තුළින් ඒ සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාව 60%කින් පමණ අඩුකර ගැනීමට හැකි වූ බවයි. මෙලෙස ස්වයංක්‍රීයකරණය දෙසට ගමන් කිරීම “චීන පවුලක් උදෙසා තනි දරුවෙක් පමණක්” ප්‍රතිපත්තිය හේතුවෙන් චීනය මුහුණ දෙමින් සිටින ශ්‍රම බලකාය හැකිළිමේ අර්බුදයට විසඳුමක් ලෙස පෙනෙන්නට තිබුනත් ලොව පුරා තත්වය එසේ නොවේ.

උදාහරණයක් ලෙස බි්‍රතාන්‍යයේ බි්‍රතාන්‍ය ටෙලිකොම් (BT) ආයතනය පසුගිය වසර තුළ ඔවුන්ගේ ඉලක්කගත ලාභයට ලඟාවීමට නොහැකි වූ නිසා අදාළ ඉලක්ක සපුරාගැනීම සඳහා 2030 වන විට සිය ඔවුන්ගේ ශ්‍රම බලකාය 55,000කින් අඩු කිරීමට සැළසුම් කර ඇති බව මේ වන විට නිවේදනය කර ඇත. මේ සියළු රැකියාAI තාක්ෂණය හා සම්බන්ධ ස්වයංක්‍රීයකරණය තුළින් ප්‍රතිස්ථාපනය වනු ඇත. මෙවැනි කාර්්‍යයක් තාක්ෂණික වශයෙන් සිදුකළ හැකිද යන්නත්, එසේ කිරීම තුළ අපේක්ෂිත ලාභ ඉලක්ක සපුරා ගැනීමට හැකියාවක් පවතීද යන්න ගැටළුවකි.

ධනපති ස්වයංක්‍රීයකරණය

මෙම ධනේශ්වර ස්වංක්‍රීයකරණ ක්‍රියාවළිය තුළ සමස්ථ සේවකයින්ට එක්වරම බලපෑම් එල්ල නොකිරීමට ඔවුන් සූක්ෂම වශයෙන් කටයුතුකරන බව පෙනෙන්නට තිබේ. මෙහි මූලික වටයේදී අවම නිපුනතාවක් අවශ්‍ය නුපුහුණු ක්ෂේත්‍ර වල රැකියා අවදානමට ලක්කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. ස්වයංක්‍රීය සවි කරන භාණ්ඩ ප්‍රවාහන ට්‍රොලි, ස්වයංක්‍රීය සේවා පිරික්සුම්, ස්වයංක්‍රීය සම්බන්ධීකාරක වැඩසටහන් සහ තොරතුරු ලබාදීමේ වැඩසටහන් මේ වන විටත් එකී භාවිතයට එක්ව ඇත. පිටපත් රචකයන්, වාර්තාකරුවන්, රංගන ශිල්පීන් ආදී නිර්මාණාත්මක රැකියා වලට තර්ජන එල්ලවීම මෙහි දෙවන වටයයි. මෙහි ඊලඟ පියවර ලෙස වෛද්‍යවරුන්, නීතීඥයන්, ඉන්ජිනේරුවන් හා අනෙකුත් වෘත්තිකයින් ආදී වඩා වැඩි වැටුපක් ලබන සහ සමාජ බලයක් හිමි සේවකයින් වෙත ලඟාවීමට නියමිතව ඇත.

මේ ආකාරයෙන් සේවකයින් කප්පාදු කරන ක්‍රියාවලියේ මූලික තර්කය ලෙස ඉදිරිපත් කෙරෙන්නේ එම රැකියා අදාල සේවාවන් ලබාදීම සඳහා තවදුරටත් අනවශ්‍ය බව පෙන්වීමටය. එම සේවකයන් ඉවත් කිරීම නිසා අදාළ ක්‍රියාවලිය වඩාත් කාර්්‍යක්ෂම වන අතරම අදාළ පිරිවැය කපාහැරීම තුළින් ආයතනයට වඩා වැඩි ලාභයක් ඉපයිය හැකි බව ඔවුන් තර්ක කරනු ලබයි. මේ ක්‍රියාවලිය තුළ පැහැදිලි ලෙසම නිශ්පාදනය වැඩිව තිබේ. නමුත් මේ වන විට ලොව පුරා සිටින වැඩකරන ජනතාව මුහුන දී සිටින ජීවන වියදම පිළිබඳ අර්බුදය තුළින් පෙනී යන්නේ ඔවුන් වෙත මේ අනුව නිශ්පාදනය වැඩි වීමේ සහ වැඩි ලාභ ඉපැයීමේ ප්‍රතිලාභ ළඟාවී නොමැති බවයි.

මෙහිදී ඵලදායිතාවය සහ ලාභාපේක්ෂාව පමණක් පදනම්කරගෙන කම්කරුවන් සේවයෙන් පහ කිරීමට සහ වැටුප් අඩු කිරීමට පාලකයින් දරණ උත්සාහයට වෘත්තීය සමිති විරුද්ධවිය යුතුය. වෘත්තීය සමිති වල පරීක්ෂාව සඳහා සමාගම් හා ආයතන වල ගිණුම් පොත් විවෘත කිරීම කල යුතුය යන ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය. සේවකයින් වඩා ඵළදායී ලෙස ආයතන තුළ යොදාගන්නේ කෙසේද යන්න සොයාබැලීම සඳහා වෘත්තීය සමිති වලට සමාගම් පරිපාලනයට මැදිහත් වීමට අවස්ථාව ලබාදිය යුතුය. එමෙන්ම මේ කොන්දේසි වලට එකඟ නොවන සමාගම් ජනසතු කළ යුතු අතර එම සමාගමේ හෝ ආයතන සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට යටත් කිරීමට කටයුතු කළ යුතුය යන ඉල්ලීම ඉදිරිපත් කිරීම අත්‍යවශය වේ. මීට අමතරව මෙම නවීන තාක්ෂණය මේ වන විටත් ධනපති පන්තියට අයත් සුළු පිරිසක් අත සංකේන්ද්‍ර ගතවෙමින් පවතී. මෙය ධනවාදය සතු මූලික ගැටළුවක් වන අතර මේ හේතුව නිසා එක් පන්තියකට සිය පැවැත්ම වෙනුවෙන් සමස්ථ ලෝකයම පසෙකලා කටයුතු කළ හැකි අති දැවැන්ත බලයක් නිර්මාණය වී තිබේ.

■ වාමාංශික ව්‍යාපාරයේ කාර්්‍යභාරය

නව තාක්ෂණය මානව ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට සහ ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය අංගයක් බව තේරුම් ගත යුතුය. අප බිහිකිරීමට බලාපොරෝතතුවන සමාජවාදී සමාජය වත්මන් සමාජයට වඩා ඉදිරිගාමී, නිදහසෙන් සපිරි, නවීන සමාජයක් වන අතර ඒ සඳහා තාක්ෂණය උපයෝගීකරගැනීමත් ඒවා පොදු යහපත වෙනුවෙන් යොදාගැනීමත් අත්‍යාවශ්‍ය වේ. මේ ගැටළුව හමුවේ වාමාංශික ව්‍යාපාරයන්ගේ භූමිකාව වන්නේ මේ වන විට යම් බටහිර රටවල අන්ත දක්ෂීණාංශික ආරක්ෂනවාදී කණ්ඩායම් මෙන් කටයුතු කරන ආකාරය තාක්ෂණික දියුණුවට විරුද්ධ වීම හෝ එය ප්‍රතික්ෂේප කිරීම නොවේ.
මේ ගැටළුවට මුහුන දීමේදී වාමාංශික ව්‍යාපාරය වෙත ප්‍රධාන කාර්්‍යභාරයන් දෙකක් පැවරී තිබේ.

1. ධනපති ස්වයංක්‍රීයකරණ වැඩපිළවෙල හමුවේ වැඩකරන ජනතාවගේ ජීවනෝපාය සහ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සඳහා ඔවුන් සංවිධානය කිරීම සහ ඒ වෙනුවෙන් සටන් කිරීම.

2. නවීන තාක්ෂණය සුළු පිරිසකගේ අවශ්‍යතාවය ඉටුකරගැනීම වෙනුවට සමස්ත සමාජයේම අවශ්‍යතාවන් ඉටුකරගැනීමටත් එයින් ලැබෙන ලාභ ප්‍රයෝජන සමස්ථ සමාජයට බෙදීයාමටඅවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම.

මෙවැනි ක්‍රියාදාමයක් සිදු කිරීමට ධනපති පංතිය සමත් නොවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. එවැන්නක් කළ හැකි වන්නේ නව තාක්ෂණය නිවැරදි කළමණාකාරිත්වයක් සහිතව සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වන සමාජවාදී පරිවර්තනයක් බිහි කිරීමෙන් පමණකි.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
2024 Ratutharuwa March…

2024 Ratutharuwa March...

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.